ශ්‍රී ලංකාවේ අර්බුදය හා සම්බන්ධව නිතර ඇසෙන ප්‍රශ්න සහ ඒවාට අපගේ පිළිතුරු.
පිළිතුරු: යුධංජය විජේරත්න සහ නිසල් පෙරියප්පෙරුම පරිවර්තනය: නිශාදි ගුණතිලක
ප්‍රශ්න අපට ලැබුණු අනුපිළිවෙලින් දක්වා ඇත. මේවා දළ පිළිතුරු පමණක් වේ. මෙයින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ දැනුම්වත් කිරීම සහ වැරදි තොරතුරු පැතිරීම වැළැක්වීම යි. එමනිසා වැඩිදුර කියවීම් කිරීමට වග බලා ගන්න! අපට ප්‍රශ්න එවන්න: ට්විටර්: https://twitter.com/TeamWatchDog ඉන්ස්ටග්‍රෑම්: http://instagram.com/teamwatchdog
අපි ගොඩක් වැඩ කරන පොඩි කණ්ඩායමක්. නමුත් අපි පිළිතුරු දීමට සහ මෙය යාවත්කාලීනව තබා ගැනීමට උපරිමයෙන් උත්සාහ කරමු.
1. අපි චීනය වැනි සාර්ථක රටවල් දෙස බැලුවහොත්, ඔවුන් අපනයන හරහා විශාල විදේශ මුදල් ප්‍රමාණයක් උපයා ගන්නවා - විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විලාසිතා අපනයනය හරහා. අපටත් එහෙම කරන්න බැරි ඇයි?
චීනය ඉතා විශාල රටක්. ඔවුන්ගේ ජනගහනය බිලියන 1.402 (1,402,000,000) - එය දැනට ලෝකයේ ජීවත්වන සියලුදෙනාගෙන් 18% කට වඩා පොඩ්ඩක් වැඩියි. සංසන්දනය කරන විට, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21 (21,000,000) ක් පමණයි.
ජනගහනය අතින් චීනය ශ්‍රී ලංකාව මෙන් 66.76 ගුණයකි. ඔබට මෙය මවාගැනීමට උපකාර කරන ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ගොනුකරන ලද හොඳ සිතියමක් මෙන්න:
මෙයින් අදහස් වන්නේ චීනයට විශාල ශ්‍රම බලකායක් මෙන්ම ස්වභාවිකවම දැවැන්ත දේශීය වෙළඳපොළක් ඇති බවයි. Xiaomi වැනි සමාගම්වලට හිස එසවීමට පමණක් නොව වැජඹීමට ද ඉඩ සලසන්නේ මෙයයි: ඔබේ නිෂ්පාදනය නිර්මාණය කිරීමට මෙන්ම මිලදී ගැනීමට මිලියන සිය ගණනක් මිනිසුන් ඔබේ රටේම සිටින විට ඔබට පහසුවෙන් නිෂ්පාදන ව්‍යාපාර නිර්මාණය කිරීමට, විකිණීමට සහ පවත්වාගෙන යාමට හැකියි. සාර්ථක දේශීය ව්‍යාපාර පසුව තම රටේ දේශසීමාවෙන් පිටත විකිණීම කරති.
චීනය සතුව සුවිශේෂී වාසියක් ද ඇත: එය දීර්ඝතම කාලයක් තිස්සේ මුළුමනින් ම පාහේ බලශක්තියෙන් ස්වයංපෝෂිතව සිට ඇත. එය ඇදහිය නොහැකි තරම් ගල් අඟුරු, ජල විදුලි හා ඛනිජ තෙල් සම්පත් ඇති රටකි. අප රටවල් දෙක අතර ඇති ස්වභාවික සම්පත් වෙනස්කම් අපට භාවිත කළ හැකි තියා කිසිසේත්ම සැසඳියවත් නොහැකි ආදර්ශයක් බවට චීනය පත් කරයි.
'යමෙකු කරන ලෙසම' කිරීමට නම්, අප හා සමාන තත්ත්වයන් ඇති රටවල් තෝරා ගත යුතුය.
චීන ආර්ථිකය ඉබේම වත්මන් තත්ත්වයට පත් නොවූ බව තේරුම් ගැනීම ද වැදගත් ය. චීන ආර්ථිකයේ වර්තමාන ව්‍යුහය 1978 සිට පැවතෙන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ ආර්ථික උත්තේජක පැකේජ ඇතුළු අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයකි. ඒ හරහා බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මුදවා ගැනුන ද, ඒ දක්වා වූ මාර්ගය ම්ලේච්ඡ වූ අතර විශේෂයෙන්ම ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ තුළ ඉතා අසමාන විය.
එසේනම් මෙය කරන්න පුළුවන් දෙයක් ද? ඔව් නම්, ඒ සඳහා අවම වශයෙන් දශක ගණනාවක් පුරාවට වැඩ කළ යුතු වේ. නමුත් අපට ඇත්තේ මේ දැන් විදුලිය නොමැති කම පිළිබඳ ගැටලුවකි. රටවල් දෙකෙහි වෙනස්කම් අනුව පෙනී යන්නේ අපට චීනය ආදර්ශයට ගැනීම කළ නොහැකි බවයි.
2. බොහෝ රටවල විදේශීය සිසුන් හට අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාල ඇති අතර එමඟින් විදේශ මුදල් රට තුළට ගලා එයි. අපට එසේ කරන්න බැරි ඇයි? (මෙය අප රටේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ද උත්පාදනය කරනු ඇත).
ඇත්තටම අධ්‍යාපනය අපනයනය කරන්න පුළුවන්. 2014-2015 කාලයේ දී ජාත්‍යන්තර සිසුන් හරහා එක්සත් රාජධානියේ ආර්ථිකය අවම වශයෙන් පවුම් බිලියන 25.8 ක් උපයා ඇති බව ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලංකාවේ සිසුවෙකු ඉගෙනීම සඳහා විදේශගත වන සෑමවිටම නිසැකවම රටින් පිටට මුදල් ගලා යයි.
අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය නම් මිනිසුන් ඉගෙනීමට අප රටට පැමිණිය යුත්තේ ඇයි ද යන්නයි.
ඒ අධ්‍යාපනයේ උසස් ගුණාත්මක තත්ත්වය හේතුවෙන් ද? ලෝකයේ විශ්වවිද්‍යාලවල එකිනෙකට වෙනස් ශ්‍රේණිගත කිරීම් තුනක් මෙන්න: Times Higher Education CWUR, TopUniversities. අපගේ විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත ස්ථාන දෙස බලන්න: අනෙකුත් විශ්වවිද්‍යාල සිය ගණනකට පිටුපසින්. ඔව්, අප සියලුදෙනාම මෙම ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවෙනවා වෙන්න පුළුවන්, නමුත් උපාධියක වටිනාකම පිළිබඳව අන් අයට ඇති හැඟීම ප්‍රායෝගිකව ඉතා වැදගත්.
විදේශීය විශ්වවිද්‍යාල මෙරටට ඇතුළු කරගැනීම මෙයට විකල්පයක් තමයි. නමුත් ඒ සම්බන්ධයෙන් එක් කුඩා ගැටලුවක් තිබේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දීමේ සැලසුමක් 2010 දී රජය සතුව තිබුණි. මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ බීජිං රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇතුළුව විදේශීය විශ්වවිද්‍යාල 15 ක් සමඟ සාකච්ඡා සිදු කෙරෙමින් පැවතිනි. මෙයින් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල 25 පුරාවටම විරෝධතා සහ නොසන්සුන්තාවන් ඇතිවීමයි. ඔවුන්ගේ දෘෂ්ටිකෝණය වන්නේ: ඔවුහු අධ්‍යාපනය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරති. මෙයින් සිදු වන්නේ සියලුම සම්පත් පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන, දැනට පවතිනවාටත් වඩා අඩු ප්‍රමාණයක් පොදු අධ්‍යාපනයට ලැබෙන ද්වි-ස්තර ව්‍යුහයක් නිර්මාණය වීමයි.
මෙය අපට ඉදිරියට යා හැකි යම් මාවතක් විය හැකිය (එය අපගේ සියලු ගැටලු විසඳනු ඇතැයි මම නොසිතමි), නමුත් අපට විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලිවලට අවංක පිළිතුරු ලබා දීමට සිදුවනු ඇත.
3. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 46% ක් වේ. ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් සිදු කර ගැනීම (business process outsourcing) (call centres, back-office admin ආදිය) සහ තොරතුරු තාක්ෂණ සේවා වැනි එයින් ප්‍රයෝජන ගත හැකි කර්මාන්ත අප දිරිමත් නොකරන්නේ ඇයි?
මෙන්න ඔවුන්ගේම ලේඛනයෙන් යමක්: ”පරිගණක සාක්ෂරතාවය සඳහා අර්ථ දැක්වීම: පුද්ගලයෙකුට (වයස අවුරුදු 5-69) තනිවම පරිගණකය භාවිත කළ හැකි නම් ඔහු/ඇය පරිගණක සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයෙකු ලෙස සැලකේ. නිදසුනක් වශයෙන්, අවුරුදු 5 ක දරුවෙකුට පරිගණක ක්‍රීඩාවක් කළ හැකි වුවද ඔහු/ඇය පරිගණක සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයෙකු ලෙස සැලකේ.”
මේ ආකාරයෙන් පරිගණකයක් භාවිත කිරීම ඩිජිටල් සාක්ෂරතාවයේ හොඳ මිනුමක් නොවේ, විශේෂයෙන්ම වර්තමාන අන්තර්ජාල ලෝකය තුළ. LIRNEasia සිදු කර ඇති පර්යේෂණය ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් සම්පූර්ණ පින්තූරයක් පෙන්වයි:
බොහෝ පුද්ගලයින් තොරතුරු සෙවීම, පිවිසුම් සෑදීම, යෙදුමක් ස්ථාපනය කිරීම යනාදිය තමන්ට හැකි බව වාර්තා කරයි. එබැවින් ප්‍රායෝගිකව මෙය මුලින් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ අදහසක් සේ පෙනේ.
මේ වගේ හොඳ අදහස් සාමාන්‍යයෙන් කවුරුන් හෝ ක්‍රියාත්මක කරයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු උත්සාහයන් ගෙන ඇත; ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් සිදු කර ගැනීම (BPO) හේතුවෙන් මෙහි පවතින සමාගම් 300 ක පමණ සංඛ්‍යාවක් තිබේ. ශ්‍රී ලංකාව Fortune 500 සමාගම් සඳහා පවා පිටරට සංවර්ධන මධ්‍යස්ථානයක් වන අතර විශේෂයෙන්ම කොළඹ ඒ සඳහා ආකර්ෂණීය ස්ථානයක් ලෙස සටහන් වී ඇත. එයට අපේ ආර්ථිකය තනියම පවත්වාගෙන යාමට බැහැ, නමුත් එයින් මුදල් ලැබේ.
විදුලිය නැත්තම් ඔබට BPO කරන්න බැහැ කියන එක තමයි අවුලකට තියෙන්නේ.
මේ මෙම අදහස සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට දරන උත්සාහයක් නොවේ. අප මෙය කාලයක් තිස්සේ කරමින් සිටින බවත්, එය බලශක්තිය, විදුලි සංදේශ සහ නවීන ලෝකයේ අනෙකුත් සියලුම කොටස් මත දැඩි ලෙස රඳා පවතින බවත් පෙන්වා දීමක් පමණයි. ඒ වගේම අපි ඉන්දියාව, බංගලිදේශය සහ BPO කරන අනෙකුත් රටවල් සමඟ තරඟ කරමු. ඉන්දියාව සතුව මෙම කර්මාන්තයේ යෙදෙන්නන් වචනාර්ථයෙන්ම මිලියන ගණනක් සිටී. යමක් කිරීමට හැකියාවක් නොමැති විට, අනෙක් අයට එම කාර්යය කළ හැකි අතර ඔවුන් එය කරනු ඇත.
4. විදුලි උත්පාදනය සඳහා ඉන්ධන භාවිත කිරීම තිරසාර නොවේ. අප රට බොහෝ හිරු එළිය සහිත උණුසුම් රටක්. අපිට බැරි ද සූර්ය බලශක්තිය උත්පාදනය කරන්න? අපි ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලශක්තිය එකතු කිරීම සඳහා අරමුදල් රැස් කළහොත් (නැතහොත් සහනාධාර වැඩපිළිවෙලක් සකස් කරගතහොත්) මොකද?
මෙම ඉන්ධන භාවිතය තිරසාර නොවන බව අපි සම්පූර්ණයෙන්ම පිළිගනිමු. අප පමණක් නොවේ: ලංවිම ද එය දනී. අප මෑතක දී රටේ විදුලි උත්පාදනය, විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක වන ආකාරය සහ අපට විදුලිය විසන්ධි කිරීම් අත්දැකීමට සිදුව ඇත්තේ මන්ද යන්න පිළිබඳව සොයා බලා ලිපියක් ලියූ අතර එයින් පැහැදිලි වන්නේ 2019 සිට ලංවිම පම්පෝරි ගසා ඇත්තේ 'මේක තිරසාර කරන්න ඕනේ, මේක ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්න ඕනේ' යනුවෙන් බවයි.
ඔබ මතක තබා ගන්න, ලංවිම සැබවින්ම සූර්ය බලශක්ති විරෝධීන් බව පෙන්වීමට ද අප සතුව උපාඛ්‍යාත වාර්තා ඇත... නමුත් සියලුදෙනාම එකම අදහසකට එකඟ වී යැයි උපකල්පනය කරන්න.
මේ වන විට මෙහි ඉදිරි ගමනට බාධා කිහිපයක් තිබේ.
පළමුව, සූර්ය බලශක්තිය, අප දන්නා පරිදි, එතරම් ස්ථාවර නිෂ්පාදනයක් නොවේ. ඔබට ශක්තිය ගබඩා කිරීමට සහ එය ජාලයට මුදා හැරීමට බැටරි අවශ්‍ය වේ, නැතහොත් ඔබේ අවශ්‍යතාවය බුද්ධිමත් ආකාරයෙන් නැවත සැකසීමට අවශ්‍ය වේ: සූර්ය බලයට දිවා කාලයේ දී ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න, රාත්‍රියේ දී ජනක යන්ත්‍ර ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න.
දෙවනුව, අප පැනල්, ඉන්වර්ටර් හෝ බැටරි නිපදවන්නේ නැත, එබැවින් අපට ඒවා ආනයනය කිරීමට සිදුවනු ඇත. එයින් පෙනී යන්නේ ඒවා ඩොලර් ගෙවා මිල දී ගත යුතු බවයි.
මේ තර්ක තුළ නිතර මතු වන මාතෘකාවක් වන Tesla Powerwall එක සලකා බලා ඉක්මනින් ගණනය කිරීම් කිහිපයක් සිදු කරමු.
2020 දී ශ්‍රී ලංකාවේ උපරිම බලශක්ති අවශ්‍යතාවය මෙගාවොට් 2,717 ක් (MW) විය. මෙගාවොට් එකක් යනු කිලෝවොට් 1000 ක් (1000kW) වේ. 2,717 mW යනු 2,717,000 kW වේ. ඔබට එම ශක්තිය සැපයීමට Tesla Powerwalls 271,700 ක් අවශ්‍ය වේ. එය ඩොලර් 2,717,000,000 කි. වචන වලින්: ඩොලර් බිලියන 2.717 ක්.
එසේම මෙය ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් නොවේ. අපි මෙහි දී Powerwalls හි උපරිම බල ශ්‍රේණිගත කිරීම භාවිත කරන්නෙමු: නමුත් ස්ථාවර ප්‍රතිදානය එයින් අඩක් පමණි. එමනිසා මෙම ගණන දෙගුණ කළ යුතු වේ. අවම වශයෙන් ඒ සඳහා ඩොලර් බිලියන 43 ක් වැය වේ. ඊළඟට මෙයට ගොඩනැගිලි ඉදිකිරීම්, රැහැන් ඇදීම්, ජාලකය (grid) ගොඩනැගීම් ආදී වියදම් එකතු කරන්න. . .
ඒවගේම අප තවම සූර්ය කෝෂවලට යන වියදම පිළිබඳව හිතලවත් නැහැ.
සූර්ය බලශක්තිය සාක්ෂාත් කරගැනීමට වටිනා අරමුණකි, නමුත් සරල සත්‍යය නම් අපට දැන් මේ සඳහා මුදල් නොමැති බවයි. රත්රන් ද සැලකිල්ලට ගත් කළ අපගේ ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2 ට අඩුයි. අත පය දිගහැර වියදම් කිරීමට ඩොලර් බිලියන 43 ක් ඇති අයෙකු ඔබ නොදන්නේ නම් මෙය වඩාත් දිගු කාලීන කාර්යයක් බවට පත්වේ.
ඔබ දැනුම්වත් විය යුතු, දැනටමත් ක්‍රියාත්මක වන, Rooftop Solar ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ගණනාවක් තිබේ. ඒ කිසිවක් ජාතික විදුලිබල පද්ධතියේ තැන ගැනීමට සැලසුම් කරන්නේ නැත: මේ පිළිබඳව යථාර්ථවාදීව සිතුවහොත්, එසේ කිරීම සඳහා විශාල මුදලක් හා කාලයක් අවශ්‍ය වේ.
- https://www.solartherm.lk/finance-facilities-solar-electricity/
- https://www.adb.org/projects/50373-002/main#:~:text=The Project provides long-term, Participating Financial Institutions (PFI).
- https://www.rooftopsolar.lk/