සිදුවීම් වාර්තාව: මිරිහාන විරෝධතාවේ සාරාංශයක්

සිදුවීම් වාර්තාව: මිරිහාන විරෝධතාවේ සාරාංශයක්

@April 1, 2022

Read this article in English | සිංහල | தமிழ்

image
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝ දර්ශන භාවිත කරමින්, ඊයේ දිනයේ සිදු වූ ප්‍රධාන සිදුවීම්වල කාලරේඛාවක් මෙසේ සාරාංශ කරමු.

විශ්ලේෂණය: යුධංජය විජේරත්න

සංස්කරණය: අයිෂා නසීම්

පරිවර්තනය: නිශාදි ගුණතිලක

ආරම්භය

ඊයේ සවස 6.00 ට මිරිහාන ජුබිලි කණුව අසලින් විරෝධතාවක් ආරම්භ විය.

රාත්‍රී 8.00 වන විට විරෝධතාව වර්ධනය වෙමින් පැවතිණි. විශාල ජනකායක් පා ගමනින් විරෝධතාවයට එක්වෙමින් සිටි අතර, රථවාහන රියදුරන්ගේ සහය ද වැඩි වශයෙන් ලැබිණි.

රාත්‍රී 9.00 වන විට විරෝධතාව ජනාධිපතිවරයාගේ නිවස පිහිටි පැඟිරිවත්ත පාර දිගේ පැතිර යන ලදි.

හැරවුම් ලක්ෂය

රාත්‍රී 10.00 වන විටත් විරෝධතාව වර්ධනය වෙමින් පැවතිණි.

අපට සොයා ගත හැකි තරමට, ප්‍රචණ්ඩත්වය ආරම්භ වන්නේ මෙම අවස්ථාවේ දී යි. රාත්‍රී 10.10ට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදි.

විරෝධතාවයේ විවිධ තැන්වලින් ලැබුණු වීඩියෝ දර්ශනවලින් විවිධ දේවල් සිදුවෙමින් පවතිනු පෙන්නුම් කරනු ලැබේ — එක් පැත්තක ජනතාව සටන් පාඨ කියමින් සිටින අතර අනෙක් පැත්තේ ඔවුන් මාර්ග බාධක කඩා දමමින් සිටියි. ඊළඟට අපට දක්නට ලැබෙන්නේ ජල ප්‍රහාරක ට්‍රක් රථ මිරිහාන හන්දියට කඩා වැදී පාර දෙපසට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන දර්ශනයි.

පාරේ සිටි විරෝධතාකරුවන් මුලින් විසිර ගොස් පසුව කඳුළු ගෑස් ට්‍රක් රථය වැටලීමට නැවත එකතු වනු පෙනේ. හෙල්මට් පැළඳ සිටින පුද්ගලයන් බොහෝ දෙනෙක් ඒ දෙසට විවිධ දෑ විසි කරනු ලබයි.

මෙතැන් සිට හමුදාවේ මැදිහත්වීම උත්සන්න වේ. විරෝධතාකරුවෝ යුධ හමුදාවට සහ නාවික හමුදාවට අයත් බස් රථ ආපසු හරවා යැවීමට පටන් ගත්හ (පළමු බස් රථය රාත්‍රී 11.00 ට ද, හතරවන බස් රථය රාත්‍රී 11.30 ට ද හරවා යවන ලදි). මෙම සිදුවීම්වල වේලාව මෙම වීඩියෝ පටිගත කර පසුව උඩුගත කරන ලද නුස්ලි (Twitter හි @nuzlyMN) හරහා යි. ඔහු සමඟ මෙම වීඩියෝවල වේලාව තහවුරු කරගැනීමට අපට හැකි විය.

බැටන් පොලු සහ ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධව පා ගමනින් යොදවා ඇති හමුදාව සංඛ්‍යාව වැඩි වීම අපි මෙතැන් සිට දැකීමට පටන් ගතිමු. පහත වීඩියෝවේ සිටින නිලධාරීන් සාමාන්‍ය පොලිස් නිල ඇඳුම (කාකි කමිසය, කාකි කලිසම) සහ ගුවන් හමුදා සාමාජිකයන් ලෙස පෙනෙන්නන් (නිල් කමිසය, තද නිල් කලිසම) බව සලකන්න. දෙවන වීඩියෝවෙන් දැක්වෙන්නේ විශේෂ කාර්ය බලකා භටයන් (STF) හෝ යුධ හමුදා භටයන් හෝ වේ; දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් එය නිශ්චිතව පැවසීම දුෂ්කර ය. ඇතැමුන් බැටන් පොලු රැගෙන යන අතර අනෙක් අය සතුව Type-56 ප්‍රහාරක රයිෆල් ඇත (සාමාන්‍යයෙන් විශේෂ කාර්ය බලකාය භාවිත කරන අවි වර්ගය සහ මෙම තුවක්කුවල පසුපස දුඹුරු පැහැ දැවමය කඳ කොටස අනුව මෙම විනිශ්චයට එළැඹිණි).

දළ වශයෙන් එම වෙලාවේ දී ම, විරෝධතාවයේ දී වෙඩි තැබීමට ලක්වුණු පිරිමියෙකු මෝටර් රථයකින් පිටතට ගෙන රෝහලේ ගිලන් මැස්සක් මතට දමන වීඩියෝවක් දැකීමට අපි පටන් ගතිමු. වීඩියෝවෙන් ලබාගත් නිශ්චල රූ පරීක්ෂා කරන ලෙස කිහිප දෙනෙකු අපෙන් ඉල්ලා සිටීමෙන් පසුව අපි එහි මූලාශ්‍රය සොයා ගතිමු - මූලාරම්භය කාංචන පැල්පොල නම් ෆේස්බුක් ගිණුමක් බව පෙනේ. පොස්ටුවේ ශීර්ෂය සහ වීඩියෝවේ හඬපටය පවසන්නේ එම පුද්ගලයා විරෝධතාවයේ දී වෙඩි තැබීමට ලක්වුණු බවයි. ඔහුගේ පෞද්ගලිකත්වයට සහ අභිමානයට ගරු කරමින්, අපි එම වීඩියෝව මෙහි නොදැක්වීමට තීරණය කළෙමු.

එසේම, එම වෙලාවේ දී ම, අපට බස් රථය ගිනි ගන්නා වීඩියෝව දක්නට ලැබේ. [1] මෙම බස් රථය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් වන බව විරෝධතා භූමියෙන් ලැබුණු වීඩියෝ දර්ශන මගින් දක්වන ලද අතර පසුව පොලිසිය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී (පහත දක්වා ඇති) එය තහවුරු කරන ලදි.

සන්ඩේ මෝනිං හි නියෝජ්‍ය කර්තෘ මේරිඈන් ඩේවිඩ්, වෙඩි හඬ ඇසුණු බව (ජීව උණ්ඩ ද රබර් උණ්ඩ ද යන්න කිව නොහැක) වාර්තා කරයි. මධ්‍යම රාත්‍රියේත් රැස්ව සිටින්නන් අතර ඉමහත් උද්යෝගයක් දක්නට ලැබිණි.

ඩේලි මිරර් පුවත්පතේ විශේෂාංග කර්තෘ කලනි කුමාරසිංහ ජුබිලි කණුව අසල දී ජනතාව සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ බව වාර්තා කරයි. රැස්ව සිටින්නන් පැඟිරිවත්ත පාර පහළට පලවා හරින අතර ඔවුන් මාර්ග බාධක දෙකක් අතරට මැදි වී සිටිනු දක්නට ලැබේ.

විශේෂ කාර්ය බලකාය තවත් ස්වල්ප වෙලාවකින් එහි ළඟා වේ; කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරනු ලබයි. කුමාරසිංහ, පොලිස් ප්‍රතිචාරයේ ප්‍රමාණය දක්වන අපට ඇති වඩාත්ම නාට්‍යමය ඡායාරූප අතරින් එකක් කැමරාවට හසු කරගෙන ඇත — නිලධාරීන් පේළි කිහිපයක් දක්වා දිවෙන පොලිස් මිනිස් පවුරක්. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පසුබසින ලදි.

යතුරුපැදි හිස්වැසුමක් පැළඳගත් තරුණයෙක් පොලිස් මුර වළල්ලක් ඉදිරිපිට තනිවම සිටගෙන ආවේගශීලී කතාවක් කරයි. මෙය “මීට කලින් දැකලා නෑ තමයි” නම් ෆේස්බුක් පිටුව මගින් පාන්දර 2.42 ට උඩුගත කොට ඇත. වීඩියෝව, ලාංඡනයක් සහ ශීර්ෂයක් ඇතුළත් කරමින් පැහැදිලිවම සංස්කරණයට ලක් කොට ඇත. එබැවින් අපට මෙම කථාව සිදුවන්නේ කුමන අවස්ථාවේ දී ද යන්න ස්ථිර වශයෙන් සොයාබැලීමට නොහැක. නමුත් කථාව විශිෂ්ටයි.

පසුවිපරම

අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු රෝහල් ගත කර ඇත. තුවාල ලැබූවන් අතර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 24 දෙනෙකු, සාමාන්‍ය පොලිස් නිලධාරීන් තිදෙනෙකු, මාධ්‍යවේදීන් තිදෙනෙකු සහ සිවිල් වැසියන් හත් දෙනෙකු සිටින බව NewsFirst වාර්තා කරයි. පොලිසිය අවම වශයෙන් පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත [3]; ඔවුන් අවම වශයෙන් එක් මාධ්‍යවේදියෙකුටවත් පහර දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ බව ක්ෂේත්‍රයේ සිටින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් තහවුරු කරන ලදි.

යකඩ මුගුරු, මන්න සහ පොලුවලින් සන්නද්ධ පිරිසක් විරෝධතාකරුවන් කුපිත කර ජනාධිපති නිවස දෙසට පා ගමනින් පැමිණි බව පවසමින් විරෝධතාවයේ නිරත වන්නන් අතර “අන්තවාදීන්” සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය චෝදනා කරන ලදි. ඔවුන් ශ්‍රී ලංකාවේ 'අරාබි වසන්තයක්' ඉල්ලා සමාජ මාධ්‍ය හරහා මෙය සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක් බව ද පවසන ලදි. රජයේ අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම සහ කෙහෙළිය රඹුක්වැල්ල අන්තවාදී කෝණය (නැවතත්) ඉස්මතු කරමින් මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

අප එම චෝදනාව දෙස බලන්නේ ඉතාමත් සැකසහිත ලෙස. 'අරාබි වසන්තය' යන්න සමගි ජන බලවේගය (SJB) විසින් මාධ්‍ය හමුවක දී භාවිත කළ යෙදුමක් (පෙනෙන විදිහට අරාබි වසන්තය ජීවිත දහස් ගණනක් නැති කළ බව නොදැන). මෙය SJB විසින් සංවිධානය කළ විරෝධතාවයක් නොවේ. සමාජ මාධ්‍ය හරහා අන්තවාදය සැලසුම් කිරීම යන්න 2019 දී සමාජ මාධ්‍ය වාරණය යුක්ති සහගත කිරීම සඳහා භාවිත කළ වැකියම යි.

ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා ද; දිලුම් අමුණුගම වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද; කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ද වේ. ඔවුන් හමුදා, යුක්තිය හෝ අපරාධ සම්බන්ධ අමාත්‍යාංශ පාලනය නොකරන බැවින්, මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ ප්‍රකාශ බල සහිත ලෙස සැලකීමට හේතුවක් නැත.

අනෙක් අතට, මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර, අන්තවාදීන් සම්බන්ධ බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.

මෙයට වඩාත් සම්බන්ධ පුද්ගලයින් අතරින්: සජීවී රජයේ මාධ්‍ය සාකච්ඡාවක දී [2] පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ විරෝධතාකරුවන් විසින් සිදු කරන ලද දේපල හානි මුලින්ම ජල ප්‍රහාර ද, පසුව කඳුළු ගෑස් ද ඊටත් පසුව බලය යෙදවීමට ද පොලිසිය පොළඹවන ලද බවයි. සාමකාමී උද්ඝෝෂණයක් නීති විරෝධී පෙළපාලියක් බවට පත් කිරීම පිළිබඳව ඔහු අන්තවාදීන්ට දොස් පවරයි. පොලිස් බස් රථ කිහිපයකට, ජීප් රථයකට, STF බස් රථ දෙකකට සහ රුපියල් මිලියන 39ක් වටිනා පෞද්ගලික දේපළවලට සිදු කළ අලාභහානි ඔහු මෙහි දී ලැයිස්තුගත කරයි.

අත්අඩංගුවට ගත් 53 දෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත නොකරන බව ද රෝහණ මහතා ප්‍රකාශ කරයි. ඒ වෙනුවට, දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත භාවිත කිරීමට නියමිතයි.

මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවනු ඇතැයි පෙර පැවති කටකතාවලට සහ පුළුල් බියට පටහැනි වේ; කටකතාවල මූලාරම්භය අත්අඩංගුවට ගත් අය සමඟ වහාම සම්බන්ධ වූ නීතිඥයින් බව පෙනේ. ඒ අනුව, අ) නීතීඥයින්ට වැරදි තොරතුරු ලැබී ඇති බව හෝ, ආ) ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බව පොලිසියත් ඒ මොහොත දක්වාම නොදැන සිටි හෙයින් තත්ත්වය උණුසුම් මොහොතේ දී වඩාත්ම දරුණු ප්‍රතිචාරයට ඔවුන් යොමු වී ඇති බව හෝ, ඇ) මෙම නඩුවේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශයන් ක්‍රියාත්මක වී සැලකිල්ලට ගැනුණු බව හෝ මෙයින් පෙනී යයි.

පවතින තත්ත්වය තුළ, විශාල හා හූවක් ඇත — එකම තොරතුරු නැවත නැවත දක්වන ප්‍රවෘත්ති වාර්තා, සමාජ මාධ්‍ය තුළ විවිධ මත සහ ප්‍රති-මත මෙන්ම දේශපාලනඥයින්ගේ අදහස් දැක්වීම්. රජය විසින් ගනු ලබන තීරණ මොනවා දැයි ඉවසා බලා සිටින මෙන් අපි යෝජනා කරමු.

වීඩියෝ දර්ශන සඳහා අප මෙහි දක්වා ඇති පුද්ගලයින්ට ස්තූති කරන අතර, කාලරේඛාව පැහැදිලි කිරීමට අපට උදවු කිරීම පිළිබඳව නුස්ලිට ස්තූති කිරීමට කැමැත්තෙමු. මෙම තොරතුරු බෙදාගත් කලනි කුමාරසිංහ, මේරිඈන් ඩේවිඩ් සහ අනෙකුත් මාධ්‍යවේදීන්ට නොසන්සුන්කාරී අවස්ථාවක සිට පැහැදිලිව වාර්තා කිරීම ගැන අපි ප්‍රශංසා කරමු. විශේෂයෙන්ම කුමාරසිංහ, විරෝධතාවයේ දර්ශන පටිගත කිරීමට ඇය ගත් උත්සාහයේ දී කිහිප වතාවක්ම කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති බව පෙනේ.

පාදසටහන්:

[1] ජාතික හරිත පෙරමුණේ ප්‍රධානියා වන පැතුම් කර්නර් (මේ මොහොතේ එය නිකන්ම නිකන් කාංසාවට පත් සමාජ මාධ්‍ය ගිණුමක් ලෙස පමණක් හෝ නැගී එන නව දේශපාලන පක්ෂයක් ලෙස හෝ සැලකිය හැකිය) මෙය ව්‍යාජ නාටකයක් යැයි චෝදනා කරන අතර එය ව්‍යාජ අනතුරු හැඟවීමක් ලෙස හඳුන්වයි. මෙය ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා, මෙම ප්‍රකාශය වෙනත් තැන්වල, ස්වාධීනව, වෙනත් පුද්ගලයින් විසින් නැවත නැවත කියනු දක්නට ලැබේ.

[2] NewsFirst වෙතින්:

[3] අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම:

පුද්ගලයන් පනස් හතර දෙනෙකු මිරිහාන විරෝධතාවයෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

එම 54 දෙනාගෙන් ගංගොඩවිල ප්‍රදේශයෙන් පැමිණි 21 දෙනෙකු නඩුවෙන් පසු ඇප මත මුදා හැරිණි. දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිටින විරෝධතාකරුවන් 23 දෙනෙකු සහ කොළඹ ජාතික රෝහලේ සිටින විරෝධතාකරුවන් තිදෙනෙකු 2022 අප්‍රේල් 04 වන දින ගල්කිස්ස සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන් 2022 අප්‍රේල් 04 වන දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියලු දෙනාටම පොදු දේපල පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 32, 114 සහ 146 වගන්ති යටතේ චෝදනා ගොනු කර තිබිණි.