ගෝඨා එලවීම සහ ගෝඨාගේ නික්ම යාම - ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහජන නැගිටීම

ගෝඨා එලවීම සහ ගෝඨාගේ නික්ම යාම - ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහජන නැගිටීම

ගෝඨාගෝගම, ගාලු මුවදොර පිටිය. ඡායාරුපය ටිනීකා ද සිල්වා විසිනි.
ගෝඨාගෝගම, ගාලු මුවදොර පිටිය. ඡායාරුපය ටිනීකා ද සිල්වා විසිනි.
දූෂණය, නරක ප්‍රතිපත්ති, රට සූරාකන දේශපාලනඥයින් සහ අවකළමනාකරණය ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට ඇද වැටෙද්දී මහජනතාව එක ප්‍රධාන ඉල්ලීමක් සමඟ නැඟී සිටින ලදි: එනම් එවක (හිටපු) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ගෙදර යා යුතු බව කියමිනි. මෙම ලිපියෙන් අපි විරෝධතා ආරම්භ වූ ආකාරය, පළා ගිය හිටපු ජනාධිපතිවරයා සහ ඒ සියල්ලෙන් මග පෑදූයේ කුමකට ද යන්න සොයා බලමු.

@September 25, 2022

Read this article in English | සිංහල | தமிழ்

  • නරක ප්‍රතිපත්තිමය තීරණ ගෝඨාභය රාජපක්ෂ ගෞරවනීය රණවිරුවෙකුගේ සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම පිළිකුලට ලක්වූ ජනාධිපතිවරයෙකු බවට පත් කරන ලදි.
  • ප්‍රථම වාර්තා වුණු මහජන විරෝධතාව ආරම්භ වූයේ මාර්තු මාසයේ දී පාර අයිනේ සිදු කළ නිහඬ විරෝධතා ලෙසයි. මේවා මහාපරිමාණ ව්‍යාපාර දක්වා ක්‍රමයෙන් වර්ධනය වන ලදි.
  • මේ කාලය තුළ පෝලිම්වල රැඳී සිටිය දී දැඩි වෙහෙසට පත්වීමෙන්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ආදිය හේතුවෙන් දළ වශයෙන් 35 දෙනෙකු මිය යන ලදි.
  • ගෝඨා රටින් පළා ගිය අතර ඒ සඳහා රුපියල් මිලියන ගණනක් ද වැය කරන ලදි.

2019 දී ගෝඨාභය රාජපක්ෂ මැතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති වූ විට ඔහුට ඡන්දය දුන් මිලියන 6.9 ක් වූ ශ්‍රී ලාංකිකයෝ 'විනය ගරුක' සමාජයක් අපේක්ෂා කළහ. මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයන් ප්‍රකාශ කළ බරපතළ අවිශ්වාසයන් මධ්‍යයේ වුව ද ඔවුහු වඩාත් හරිත, වඩාත් යහපත් සහ වඩාත් ක්‍රියාකාරී රටක් පිළිබඳව වූ ඔහුගේ පොරොන්දුව විශ්වාස කළහ.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පැවති මර්දනකාරී ඉතිහාසය හේතුවෙන් නව රාජපක්ෂ පාලනයට එරෙහිව තමන්ට විරෝධතා දැක්විය හැකි ද යන්න පිළිබඳව ජනතාව මුල දී අවිනිශ්චිත විය. කෙසේ වෙතත්, බදු කප්පාදුව, එකතැන පල්වෙන වැටුප්, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හරහා අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සහ එක රැයකින් රසායනික පොහොර තහනම් කිරීම වැනි සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඔප්පු වූ ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් රට සමාජ-ආර්ථික විනාශයකට වඩා වේගයෙන් ඇද දැමූ බැවින් ගොවීන්, වෘත්තීය සමිති සහ වැඩ කරන ජනතාව 2020 වන විටම පාරට බසින ලදි.

මුල දී, COVID-19 වසංගතය දක්වමින් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලදි. එසේම ගෝඨාභයට කිසි විටෙකත් 'සාමාන්‍ය' ධූර කාලයක් ගත කිරීමට අවස්ථාවක් නොතිබුණි, විශේෂයෙන්ම ඔහු බලයට ආවේත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් (2019 දී) පසු ඇති වූ කෝපය දඩමීමා කොට ගෙනයි. 'ත්‍රස්තවාදීන්' පාලනය කර ගැනීමට (මෙය සිදු නොවුණි) සහ පසුව COVID-19 වසංගතය මගින් බිඳ දැමූ ආර්ථිකය සමඟ කටයුතු කිරීමට ඔහුට පළමු වසර දෙක තුළ බුරුලක් ලබා දෙන ලදි.

කෙසේ වෙතත්, 2022 මුල වන විට හිටපු ජනාධිපතිවරයා කෙරෙහි තිබූ බලාපොරොත්තුව වඩාත් වේගයෙන් ගිලිහීමට පටන් ගන්නා ලදි. මුදල්, ආහාර සහ ඉන්ධන වේගයෙන් අතුරුදහන් වීමත් සමඟ මිනිසුන්ගේ කනස්සල්ල වැඩි වීමට පටන් ගැනුනි. මිල වැඩිවීම්, විදුලිය විසන්ධි වීම්, කිලෝ මීටර් ගණන් දිග පෝලිම් වැඩි වීමත් සමඟම මරණ සංඛ්‍යාව ද වැඩි විය.

වේගයෙන් මතු වූ මහජන අමනාපයේ බලපෑම් අරගලය නම් ජනතා විරෝධයේ උපත සනිටුහන් කරන ලදි.

මෙසේ තත්ත්වය කණපිට ගැසුවේ ඇයි?

සරලව කිවහොත්, රාජපක්ෂවරු ඕනෑවට වඩා වැඩි පොරොන්දු ලබා දුන් අතර ඒවා ඉතා අඩුවෙන් ඉටු කරන ලදි. අප කලින් අවධාරණය කළ පරිදි, ගෝඨාභය බලයට පත් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කොටගෙන වූ අතර ඔහු ආරක්ෂාව වැඩි කිරීමට පොරොන්දු විය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (දස වැදෑරුම් ප්‍රතිපත්ති නමින් හැඳින්වූ) පළමු කරුණ වූයේ ‘ජාතික ආරක්ෂාවට මුල්තැන' යන්නයි.

අනෙක් නමය වූයේ මිත්‍රශීලී සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්ති, පිරිසිදු රාජ්‍ය පාලනය, ඵලදායී පුරවැසියෙක් - සශ්‍රීක මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සහ විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් (සිංහල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටා ගන්නා ලදි) යන ඒවායි. මෙය නොපැහැදිලි වුවත් ඉතා අපේක්ෂා සහගත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස සැලකිය හැක.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව “සෞභාග්‍යයේ දැක්ම” නිර්මාණය කිරීමේ ඔහුගේ උත්සාහය අතරතුර ගෝඨාභය 2021 දී එක රැයකින් පොහොර තහනම ක්‍රියාත්මක කරන ලදි. මෙය රට පුරා ආහාර හිඟ හා වගා පාඩු ඇති කිරීමට හේතු විය.

image

තවත් දුර්වල තීරණ ගැනීම හේතුවෙන් අර්බුද ගණන එක පිට එක ගොඩ ගැසෙන්නට විය. විදුලිය විසන්ධි කිරීම නිතර සිදු වූ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් රට ඉන්ධන සහ වෛද්‍ය අර්බුදවල ගිලී යන ලදි. මේ සියල්ල සිදු වූයේ භයානක ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම තීරණ සඳහා දායක වූ වැරදි උපදේශ ද සැලකිල්ලට ගැනීම වැදගත්ය. සියල්ල හොඳින් සිදුවනු ඇති බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කළ ප්‍රකාශය ඊට හොඳම උදාහරණයකි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය නොවන බව ඔහු දැක්වූ අතර ඒ වෙනුවට චීන ණයක් සලකා බැලීමට තීරණය කරන ලදි.

අවසානයේ බලන කල නරක තීරණ සහ කිසිම ගැටලුවක් ඇති බව පිළිගැනීම රජය ප්‍රතික්ෂේප කිරීම සෑම දෙයකටම හේතු විය.

අන්තිමේදී මිනිසුන්ට මෙය ඇති විය.

රාජපක්ෂ පාලනයට එරෙහිව 2022 අප්‍රේල් 20 වැනි දින ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයක දී බිම වාඩි වී සිටින වයෝවෘද්ධ මිනිසෙක් “කරන්න බැරිනම් අපිට දියව් #GoHomeGota” යනුවෙන් සඳහන් පුවරුවක් අල්ලාගෙන සිටියි. ඡායාරූපය රියාල් රිෆායි විසිනි.
රාජපක්ෂ පාලනයට එරෙහිව 2022 අප්‍රේල් 20 වැනි දින ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයක දී බිම වාඩි වී සිටින වයෝවෘද්ධ මිනිසෙක් “කරන්න බැරිනම් අපිට දියව් #GoHomeGota” යනුවෙන් සඳහන් පුවරුවක් අල්ලාගෙන සිටියි. ඡායාරූපය රියාල් රිෆායි විසිනි.

පුළුල්ව පැතිරුනු නිහඬ ප්‍රතිරෝධ, වර්ධනය වන විරෝධතා සහ ගෝඨාගෝගම

මාර්තු 01 වැනි දින කොහුවෙල හන්දියේ දී පළමු වාර්තාගත ජනතා විරෝධතාවය ආරම්භ විය. දිනකට පැය අටකට අධික කාලයක් විදුලිය විසන්ධි වීම ආරම්භ කිරීමත් සමඟම කුඩා කණ්ඩායමක් ඉටිපන්දම් සහ සටන්පාඨ රැගෙන නිහඬ විරෝධතාවයක නිරත වීමට එකතු වූහ.

මහජනතාව කොළඹින් පිටත විරෝධතා දැක්වීමට කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වීමට පටන් ගත්හ. ඡායාරූපයේ දැක්වෙන්නේ 2022 මාර්තු මාසයේ හැඳල හන්දියේ පැවති ප්‍රථම නිහඬ විරෝධතාවයයි. ඡායාරූපය අයිෂා නසීම් විසිනි.
මහජනතාව කොළඹින් පිටත විරෝධතා දැක්වීමට කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වීමට පටන් ගත්හ. ඡායාරූපයේ දැක්වෙන්නේ 2022 මාර්තු මාසයේ හැඳල හන්දියේ පැවති ප්‍රථම නිහඬ විරෝධතාවයයි. ඡායාරූපය අයිෂා නසීම් විසිනි.

දිගු විදුලි කප්පාදු ශීඝ්‍රයෙන් සාමාන්‍ය දෙයක් බවට පත්වීමත් සමඟ කොළඹ සහ ඉන් පිටත අසල්වැසි ප්‍රදේශවල මෙම ඉටිපන්දම් දල්වා කරන නිහඬ විරෝධතා සංඛ්‍යාවෙන් වර්ධනය වීමට පටන් ගන්නා ලදි. මෙම විරෝධතා විමධ්‍යගත ස්වරූපයක් ගන්නා ලද අතර, සරලවම තමන්ට මෙය ඇති වී ඇති බව තීරණය කළ සිවිල් වැසියන් විසින් ඒවා ආරම්භ කරන ලදි. බොහෝ විට වැඩිහිටියන්, කාන්තාවන් සහ ළමයින් ඒවාට සහභාගී විය. ෆේස්බුක් පෝස්ටු සහ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු කරගැනීම හරහා මේවා පිළිබඳ ආරංචි වේගයෙන් පැතිර ගිය අතර ඒ හේතුවෙන් මේවාට විශාල ජනකායක් ඇදී එන ලදි.

විරෝධතා සංඛ්‍යාව වැඩිවීමත් සමඟම, දේශපාලනඥයින් මෙම ව්‍යාපාරයට එකතු වූ අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මාර්තු 15 වැනි දින කොළඹ දී විරෝධතාවයක් මෙහෙයවීය.

වැඩි කල් යන්නට මත්තෙන්, ජීවන තත්ත්වය තව තවත් නරක අතට හැරීමත් සමඟ රට පුරා ලැව් ගින්නක් මෙන් විරෝධතා පැතිර යන්නට පටන් ගන්නා ලදි. අප්‍රේල් මාසය තුළ පමණක් Watchdog විසින් විරෝධතා 400 කට වඩා නිරීක්ෂණය කරන ලදි. විරෝධතා රට පුරා ව්‍යාප්ත වූ ආකාරය ඔබට මෙතැනින් බලන්න පුළුවන්.

මාර්තු 31 වැනිදා, කිසිම සහනයක් ලැබෙන ආකාරයක් නොපෙනෙන තත්ත්වයක් තුළ, මහජන විරෝධතා මිරිහානේ ගෝඨාභයගේ නිවසින් පිටත විශාල ජන රාශියක් දක්වා වර්ධනය වූ අතර තත්ත්වය උණුසුම් වීමට පටන් ගන්නා ලදි. විරෝධතාකරුවන් ඔහුගේ නිවසට කඩා වැදීමට උත්සාහ කරන විට, පොලිසිය සහ හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එය ආසන්න වශයෙන් 50 දෙනෙකුට තුවාල සිදු වීමට සහ අත්අඩංගුවට ගැනීම් ගණනාවකට හේතු විය. ඉන් අනතුරුව අප්‍රේල් 01 වැනිදා නීතීඥයින් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් අය වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමට මිරිහාන පොලිසියට පැමිණෙන ලදි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ කළ යුතු බව පවසමින් සහ නීති විරෝධී ඇඳිරි නීති නියෝගවලට එරෙහි වෙමින් ඇත්ත වශයෙන්ම සහ සංකේතාත්මකව ද විරෝධතාකරුවන් සිට ගන්නා ලදි.

ඒ වන විට රජය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළ අතර, නැගී එන විරෝධතා සීමා කිරීමට සහ පාලනය කිරීමට උත්සාහයක් වශයෙන් දිගින් දිගටම ඇඳිරි නීතිය පනවන ලදි. එය කලබලයේ මිලදී ගැනීම් වැඩිවීමට සහ ඉන්ධන පෝලිම් වැඩිවීමට හේතු විය. අප්‍රේල් 03 වැනිදා දීප ව්‍යාප්ත බලමුලු ගැන්වීමක් වීමට තිබූ දේ වැලැක්වීමට ඇඳිරි නීතිය පනවා ගාලු මුවදොර බාධක ලා වට කරන ලදි. ඉන් සතියකට පසු ගාලු මුවදොර දී ගෝඨාභය විසින්ම 'නම් කරන ලද උද්ඝෝෂණ භූමියක්' ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ප්‍රදේශයේම හදිසියේ පිහිටුවන ලද විරෝධතා ගම්මානයක් ලෙස ගෝඨාගෝගම (GGG) පිහිටුවන ලදි.

අප්‍රේල් 09 වැනිදා සිට විරෝධතාකරුවෝ එම ස්ථානයේ කඳවුරු පිහිටුවීමට පටන් ගත්හ - තරුණ ප්‍රජාව, LGBTQI ප්‍රජාව, අතුරුදහන් වූවන්ගේ පවුල් යනාදීන් සඳහා කූඩාරම්, සෞඛ්‍ය කඳවුරු, ප්‍රජා මුළුතැන්ගෙයක්, මාධ්‍ය මධ්‍යස්ථාන සහ තවත් බොහෝ දේ එහි විය.

මෙයට පසුව එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවස වූ අරලියගහ මන්දිරයෙන් පිටත, ඔහුගේ ද ඉල්ලා අස්වීම ඉල්ලමින් හදිසියේ පිහිට වූ ගම්මානයක් ලෙස ගෝඨාගෝගමට වඩා කුඩා මයිනාගෝගම (MGG) පිහිටුවන ලදි.

සෑම රාත්‍රියකම දහස් ගණන් ජනයා ගාලු මුවදොරට රැස් වූ අතර ඔවුන් ඒ වන විටත් එහි කූඩාරම් ගසා සිටින ප්‍රජාවන්ට එකතු විය. ඒ හරහා ගෝඨාගෝගම එහි පළමු මාස දෙක තුළ දින හතම පැය 24 පුරාවටම පැවැත්වෙන දෙයක් බවට පත් විය. 2022 අප්‍රේල් 13. ඡායාරූපය ටිනීකා ද සිල්වා විසිනි.
සෑම රාත්‍රියකම දහස් ගණන් ජනයා ගාලු මුවදොරට රැස් වූ අතර ඔවුන් ඒ වන විටත් එහි කූඩාරම් ගසා සිටින ප්‍රජාවන්ට එකතු විය. ඒ හරහා ගෝඨාගෝගම එහි පළමු මාස දෙක තුළ දින හතම පැය 24 පුරාවටම පැවැත්වෙන දෙයක් බවට පත් විය. 2022 අප්‍රේල් 13. ඡායාරූපය ටිනීකා ද සිල්වා විසිනි.
2022 මාර්තු, කොළඹ, ගාලු මුවදොර උද්ඝෝෂකයන්ගේ ඡායාරූප; හිස වසා සළුවක් පැළඳගත් දැරියක් ‘we are not extremists’ (අපි අන්තවාදීන් නොවේ) යැයි කියැවෙන පුවරුවක් අතැතිව සිටී; අබායාවක් හැඳගත් කාන්තාවක් ආඩම්බරයෙන් ජාතික ධජය ඔසවාගෙන සිටී; වෙස්මුහුණු පැළඳගත් මිනිසුන් විසින් අල්ලාගෙන සිටි පෝස්ටර් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගවීම සහ රාජපක්ෂ රෙජීමය විසින් සොරාගත් වත්කම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලයි. ඡායාරූප අයිෂා නසීම් විසිනි.
2022 මාර්තු, කොළඹ, ගාලු මුවදොර උද්ඝෝෂකයන්ගේ ඡායාරූප; හිස වසා සළුවක් පැළඳගත් දැරියක් ‘we are not extremists’ (අපි අන්තවාදීන් නොවේ) යැයි කියැවෙන පුවරුවක් අතැතිව සිටී; අබායාවක් හැඳගත් කාන්තාවක් ආඩම්බරයෙන් ජාතික ධජය ඔසවාගෙන සිටී; වෙස්මුහුණු පැළඳගත් මිනිසුන් විසින් අල්ලාගෙන සිටි පෝස්ටර් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගවීම සහ රාජපක්ෂ රෙජීමය විසින් සොරාගත් වත්කම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලයි. ඡායාරූප අයිෂා නසීම් විසිනි.

විරෝධතාවල නැගුනු හඬවල්

ගාලු මුවදොර දී ගෝඨාගෝගමේ කූටප්‍රාප්තිය සමන්විත වූයේ කැඩී බිඳී ගිය නමුත් පරිපූර්ණ වූ විවිධ කණ්ඩායම් වලිනි — විවිධ දේශපාලන මතිමතාන්තර දරන සහ විවිධ පසුබිම්වලට අයත් පුද්ගලයන් එක මූලික ඉල්ලීමක් අරබයා එකට එක් විය: ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම සහ රාජපක්ෂ නඩය තම අපරාධවලට වගවීම.

📌
මෙම කණ්ඩායම්වලට ගොවීන් - නිදහස් වෙළඳ කලාප සේවකයින් - තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නියැලෙන්නන් - අතුරුදහන් වූවන්ගේ පවුල් - මලයියහ දෙමළ කණ්ඩායම් - උතුරු නැගෙනහිර ජනතාව - ශිෂ්‍ය කණ්ඩායම් - ගුරුවරුන් - විශ්වවිද්‍යාල ආචාර්යවරුන් - කලාකරුවන් - කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගත් මුස්ලිම් ජාතිකයින්ගේ පවුල් - බෞද්ධ පූජ්‍ය පක්ෂය - ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂය - ආබාධ සහිත රණවිරුවන් - තරුණ කණ්ඩායම් - මාධ්‍යවේදීන් - වෘත්තීය සමිති සහ කිසිම කණ්ඩායමකට සම්බන්ධ නොවන, නමුත් ආර්ථික අවපාතයත් සමඟ ජීවිත අසීමිත ලෙස දුෂ්කර වී ඇති පුද්ගලයින් සහ පවුල් අයත් විය.

ආර්ථික අර්බුදය මෙම විරෝධතාවල ආරම්භය උත්ප්‍රේරණය කළ ද එය බොහෝ දෙනෙකුට ඔවුන්ගේ දිගුකාලීන දුක්ගැනවිලි මතු කිරීමට ද අවස්ථාවක් ලබා දෙන ලදි. ඔවුන් විශාල සංඛ්‍යාවක් නොසිටියා විය හැකි වුව ද මිනිසුන් කළ මෙයාකාරයේ විවිධ ඉල්ලීම් වාර්තා කිරීම වැදගත් ය:

  • පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී යුද්ධය අවසානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයින්ට යුක්තිය
  • පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අහිංසක මුස්ලිම් ජාතිකයන්ට යුක්තිය
  • රාජපක්ෂවරුන්ගේ නියෝග මත ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය වෘත්තිකයන්ට යුක්තිය
  • අහිංසක දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කිරීමට භාවිත කර තිබූ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

කෙසේ වෙතත් රාජපක්ෂ පාලනයට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස්වලට අමතරව ඔහු වෙනුවෙන් උද්ඝෝෂණය කළ කණ්ඩායම් ද විය. මහනුවර, තංගල්ල, මොණරාගල, අනුරාධපුර සහ කොළඹ ද විරෝධතා පැවැත්විණි. ගෝඨාගෝගමේ දී වඩේ අලෙවි කළ ගෝඨාභය හිතවාදී විරෝධතාකරුවෙකුව ද හඳුනාගෙන පොලිසියට බාර දී ඇත; ගෝඨා විරෝධී උද්ඝෝෂකයින් කියා සිටියේ ඔහුට ඔවුන්ගේ කෑමට වස දැමිය හැකි බවයි.

තවද, මුලින් රාජපක්ෂ රෙජීමයට පක්ෂව ප්‍රචාරක කටයුතු කළ, නමුත් විරෝධතා අතරතුර ප්‍රසිද්ධියේ පැති මාරු කළ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ බලපෑම් කරන්නන් ගණනාවක් ද විය.

'බැස්ටීලයට කඩාවැදීම'

විරෝධතා සංඛ්‍යාවෙන් සහ තීව්‍රතාවයෙන් වැඩෙත්ම හිටපු ජනාධිපතිවරයා #SriLankaEconomicCrisis තුළ තමා ඉටුකළ කොටස පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

විරෝධතා වැඩිවෙද්දී සියල්ල ආරක්‍ෂක අංශවලට පවරා ඔහු නිහඬව ද සිටියේය. මිරිහානේ තම නිවසින් පිටත විරෝධතා පැවති බව ගෝඨාභය කිසිවිටෙක පිළිගත්තේ නැත. එසේම ජුලි 09 වැනි දින විරෝධතා ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ විට ඔහු සිටින ස්ථානය කිසිවෙක් දැන සිටියේ ද නැත. මැයි සහ ජුනි මාසවලදී මහින්ද සහ බැසිල් යන දෙදෙනාම තම අමාත්‍ය ධූරවලින් ඉවත් වුවද ගෝඨාභය එය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

ජුලි 09 වැනිදා ගෝඨාගෝගම පිහිටි ස්ථානයට එක්වෙමින් දැවැන්ත විරෝධතා පා ගමනක් ආරම්භ විය. විවිධ පසුබිම්වල මිනිසුන්ගේ ප්‍රවාහයක් කොළඹට ඇතුළු වීමට පටන් ගත් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් සිසුන් “Go home Gota!!!” යැයි කියමින් පැමිණෙන ලදි.

ගල්කිස්ස, හෝටල් පාර හන්දියේ විරෝධතාකරුවන්: පසෙක සිට නරඹන පිරිසේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුහු “Go home, Gota!”යැයි කියමින් පෙළපාලියක් යති. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.
ගල්කිස්ස, හෝටල් පාර හන්දියේ විරෝධතාකරුවන්: පසෙක සිට නරඹන පිරිසේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුහු “Go home, Gota!”යැයි කියමින් පෙළපාලියක් යති. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.

ගොවීන් තම පවුල් සමඟ ට්‍රැක්ටර්වලින් පැමිණි අතර අපට ඔවුන්ව එක පැත්තකින් රත්මලානෙන් සහ අනෙක් පැත්තෙන් කොටුවෙන් දක්නට ලැබුණි.

අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාකරුවන්; ඉදිරිපස දර්ශනය. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.
අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාකරුවන්; ඉදිරිපස දර්ශනය. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.

අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාකරුවන්; පසුපස දර්ශනය. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.
අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාකරුවන්; පසුපස දර්ශනය. 2022 ජූලි 09. ඡායාරූපය යුධංජය විජේරත්න විසිනි.

මඳ වේලාවකට පසු ජනකාය ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටු බිඳ දමමින් ගොඩනැගිල්ල තුළට කඩා වැදුනේ එය අපගේ බැස්ටීලය බිඳදැමීමේ මොහොත බවට පත් කරමිනි.

ඒ හා සමගාමීවම වාගේ ජනාධිපති මන්දිරයට ද කඩා වැදුණු අතර, විරෝධතාකරුවන් විසින් ඉවත දමන ලද යට කලිසමක සිට අල්මාරියක තිබී හමු වූ රුපියල් මිලියන ගණනක මුදල් දක්වා සියල්ල වීඩියෝ ගත කරන ලදි. වඩාත් ප්‍රසිද්ධ වූ ආකාරයට බොහෝ දෙනෙක් පිහිනුම් තටාකයට පැනීමෙන් සහ/හෝ මීට කලින් වැඩිය දැක නැති මන්දිරයට සම්බන්ධ උද්‍යානවල සංචාරය කිරීමෙන් ජය සැමරූහ.

ඊට සුළු මොහොතකට පෙර ගෝඨාභය පළා ගිය බවක් පෙනෙන්නට තිබුණි. සාවද්‍ය තොරතුරු තොගයක් මධ්‍යයේ ඔහුගේ අග්නිදිග ආසියානු පළායාමේ සංචාරයේ කාලරාමුව මතු විය:

කෙටි කාලරාමුවක්

image

විරෝධතාකරුවන්ව මර්ධනය කිරීම

මැයි 09 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රහාරයෙන් පසුව ගාලු මුවදොර සහ අනෙකුත් ප්‍රාදේශීය ස්ථානවල රාජපක්ෂ විරෝධී උද්ඝෝෂකයින් ප්‍රශ්න කිරීම සහ බිය ගැන්වීම උත්සන්න විය.

මැයි 10 වැනි දින දුටු තැන වෙඩි තැබීමට හමුදාවට බලය දුන් අතර එය දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් බලවත් අප්‍රසාදයට හේතු විය. හිටපු අගමැති වික්‍රමසිංහ සතියකට පසු පාර්ලිමේන්තුවේ දී එය ප්‍රතික්ෂේප කළේ ‘දුටු තැන වෙඩි තැබීමට නියෝගයක් දුන්නේ නැහැ. ලිඛිතව කිසිවක් නැහැ...අනෙක් ඕනෑම සාමාන්‍ය තත්ත්වයක් යටතේ වගේ වෙඩි තැබීමට වෙනවා කියලා පොලිසියට හිතෙනවා නම් ඔවුන්ට තම අභිමතය ක්‍රියාත්මක කරන්න වෙනවා’ යැයි පවසමිනි.

ඊළඟ සති කිහිපය තුළ රට පුරා කුඩා GGG මධ්‍යස්ථාන කිහිපයක සංවිධායකයින් ඔවුන්ගේ ප්‍රදේශවල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය හෝ විසින් ප්‍රශ්න කරන ලදි. අනෙක් පිරිස අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත නිදහස් විය.

ජූලි මාසයේ දී විරෝධතාකරුවන් ජනාධිපතිගේ සහ අගමැතිගේ වාසස්ථානවලට කඩා වැදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමෙන් පසුව මර්දනයන් හදිසියේම තීව්‍රතාවයෙන් හා වාර ගණනින් ඉහළ යන ලදි.

"ශ්‍රී ලංකාවේ නව රජය විරෝධතාකරුවන් යටත් කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස බලය යෙදවීම, බිය ගැන්වීම සහ හිරිහැර කිරීම දිගටම කරගෙන යන අතර විසම්මුතියට ඉඩක් නොමැති බවට බියකරු පණිවිඩයක් ශ්‍රී ලංකාවේ ජනතාවට යවයි." යාමිනී මිශ්‍රා, ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දී පැය 24 ක් යන්නට මත්තෙන් සන්නද්ධ භට පිරිස් ගාලු මුවදොර විරෝධතා ස්ථානය ඉවත් කිරීමට යන ලදි. ජුලි 22 වැනිදා පාන්දර 2 ට ශ්‍රී ලංකා යුධ හමුදාව සහ රජයේ ආධාර ලබන වෙනත් භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ බලදක්ෂ මාවත අතර කූඩාරම් විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන එම ස්ථානයේ රෑ කඳවුරු ලාගෙන සිටි අය විසින් එවන ලදි. භට පිරිස් විරෝධතාකරුවන් බොහෝ දෙනෙකුට පහර දුන් අතර පුද්ගලයින් අත්අඩංගුවට ද ගත්හ. ඒ, ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ විරෝධතාකරුවන් එම පරිශ්‍රයෙන් ඉවත් වන බවට පොරොන්දු වී තිබියදීය.

කොළඹ, විශේෂයෙන්ම චැතම් වීදිය සහ පාර්ලිමේන්තුව අවට, යුද ටැංකි ආදිය සමඟ වැඩි වශයෙන් හමුදා භට පිරිස් දැකගත හැකි විය.
කොළඹ, විශේෂයෙන්ම චැතම් වීදිය සහ පාර්ලිමේන්තුව අවට, යුද ටැංකි ආදිය සමඟ වැඩි වශයෙන් හමුදා භට පිරිස් දැකගත හැකි විය. ඡායාරූපය තාරක බස්නායක විසිනි.
සන්නද්ධ හමුදාවන් පුහුණු කර ඇත්තේ සතුරන්ට එරෙහිව සටන් කිරීමට මිස සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ පාලනය කිරීමට නොවන බැවින් මහජන රැස්වීම් පාලනය කිරීමට ඔවුන් සම්බන්ධ නොවිය යුතුය. ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

ඉන් ඉක්බිතිව, ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ හෝ සිට ජනතාව එම ස්ථාන අල්ලාගෙන සිටි කාලය තුළ ඔවුන් හෝ වෙනත් අය හෝ විසින් පළ කරන ලද වීඩියෝ සහ ඡායාරූප මත පදනම්ව පුද්ගලයින්ව අත්අඩංගුවට ගනිමින් මර්දනය දිගටම කරගෙන යන ලදි. විරෝධතාවලට සම්බන්ධ වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා CID වෙත කැඳවා තිබූ ක්‍රියාකාරීන් සමඟ Watchdog කථා කරන ලදි. නිලධාරීන් සමාජ මාධ්‍ය හරහා එකතු කරන ලද ඡායාරූප ඔවුන්ට ඉදිරිපත් කොට ඔවුන් ලවා වෙනත් විරෝධතාකරුවන් හඳුනා ගැනීමට උත්සාහ ගෙන තිබුණි.

මෙම ආණ්ඩුවේ මර්දනයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) නායකයින් සහ ක්‍රියාකාරීන් ය. අගෝස්තු 18 වැනි දින විරෝධතා පාගමනකින් පසු ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එතැන් සිට ඔවුන්ව රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ දින 90 ක රැඳවුම් නියෝගයක් හරහාය. ඔවුන්ගේ පවුල් ද බලධාරීන්ගේ නිරීක්‍ෂණයට හා ප්‍රශ්න කිරීම්වලට ලක් වී ඇති අතර ඒ හරහා ඔවුන්ගේ පවුල්වලට සහ නීතීඥයින්ට ඔවුන්ව බැලීමට පැමිණීම අපහසු කර තිබුණි.

වඩාත් පුදුමය දනවන සුළු සමහර අත්අඩංගුවට ගැනීම් අතරට හිටපු ජනාධිපති ගෝඨාභයගේ පුටුවේ වාඩිවීම, තටාකයට පැනීම සහ ජනාධිපතිවරයාගේ නිවසේ තිබී සොයාගත් පසුව එම තරුණයා විසින්ම පොලිසියට භාරදුන් මුදල් ගණන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තරුණයින් ද ඇතුළත් ය.

මෙම මර්දනයට එරෙහිව පැවති අවසන් උද්ඝෝෂණ කිහිපයේ දී පොලිසිය විරෝධතාකරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ව වීදිවලින් අල්ලා ගන්නා ලදි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ප්‍රථමයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට පසුව එසේ කැඩුණු කණ්ඩායම කුඩා මාර්ග ඔස්සේ හඹා යන අයුරු Watchdog නිරීක්ෂණය කරන ලදි. මේ වනවිට බොහෝ දෙනෙකුට ඇප ලබා දී ඇත. අත්අඩංගුවට ගත් අය වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් ක්‍රියාකාරීන්ගේ මිශ්‍රණයකි.

කෙසේ වෙතත්, ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඇතුළු සැකකරුවන් 22 ක් නම් කළ ද අත්අඩංගුවට ගනු ලැබුවේ අට දෙනෙකු පමණි.

පෝලිම්වල මරණ, විරෝධතාවල මරණ

image

ජනාධිපති වික්‍රමසිංහ නායකත්වය ගැනීමෙන් පසුව සැප්තැම්බර් 02 වැනි දින ගෝඨාභය නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුව මහත් හරසරින් සහ ඔහුගේ පැරණි සගයන් රැසක් විසින් පිළිගනු ලැබීය. ගෝඨාභයගේ පැමිණීමට පෙර වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමේදී ඔහුගේ පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), බලයෙන් පහකළ තම ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාව ඉල්ලා සිටි අතර එය ලබා දුනි.

ඔහු ප්‍රසිද්ධ වේදිකාවෙන් බැහැරව සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයට සුබ පැතීමට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඔහුව නෙරපා හැරීමෙන් පසු ඔහු කළ එකම ප්‍රසිද්ධ ප්‍රකාශය එයයි.

දැන් මොකද වෙන්නේ?

මාස ගණනක් පුරාවට භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමෙන් පසු අගෝස්තු මාසයේ සිට මිල ගණන් ස්ථාවර වීමට පටන් ගෙන තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ ආනයනය දිගටම කරගෙන යාමට සහ දේශීය ඉල්ලුම සැපිරීමට ව්‍යාපාර සඳහා අවශ්‍ය විදේශ මුදල් මහ බැංකුව විසින් සැපයීමයි.

සැප්තැම්බර් මුල වඩාත් ධනාත්මක ප්‍රවෘත්ති පළවිය — ශ්‍රී ලංකාවට අවසානයේ ඉදිරි IMF ඇප දීමක් පිළිබඳව තහවුරුවක් ලැබුණි. ඒ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකි. මෙය ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට, බදු එකතු කිරීම වැඩි දියුණු කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට ඇතුළු වෙනත් දේ කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත මත තීරණය වේ.

කෙසේ වෙතත්, දේශපාලන හා ආර්ථික ව්‍යාකූලත්වය හමුවේ මානව හිමිකම්වලට බලපෑම් එල්ල වන තත්ත්වයක් තුළ රට තවමත් සිටින්නේ ‘තීරණාත්මක සන්ධිස්ථානයක’ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇති ආකාරයට, 'පසුගිය සහ වර්තමාන මානව හිමිකම් කඩකිරීම්, ආර්ථික අපරාධ සහ මුල් බැසගත් දූෂණය සඳහා දණ්ඩමුක්තිය ඇතුළු යටින් පවතින සාධක ආර්ථික අර්බුදයට දායක වී ඇත.'

“ශ්‍රී ලංකා රාජ්‍යය, දිගටම බලයට පැමිණි ආණ්ඩු හරහා ප්‍රබල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් අපරාධකරුවන් වගවන බව සහතික කිරීම සහ සත්‍යයට, වගවීමට සහ හානිපූරණයට වින්දිතයන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඵලදායී සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇත… ඒ වෙනුවට ඔවුන් වගවීම සඳහා දේශපාලන බාධාවන් නිර්මාණය කර ඇති අතර යුද අපරාධ චෝදනාවලට සම්බන්ධ යැයි විශ්වාස වශයෙන් සැලකෙන ඇතැම් හමුදා නිලධාරීන් සක්‍රීයව උසස් කොට සහ රජයේ ඉහළම මට්ටම්වලට ඇතුළත් කොට ඇත.“ ohchr.org

මීට අමතරව, හේග් හි මහජන විනිශ්චය සභාව (People’s Tribunal at The Hague) විසින් සැප්තැම්බර් 19 වැනිදා තීරණය කරන ලද්දේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වරදකරු බවයි.

අපි —  ශ්‍රී ලංකාව — ඉදිරියට යනු ඇත්තේ කෙසේද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සැලසුමක් ඇති බව පෙනේ — ඔවුහු රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය යටතේ දේශපාලන නායකත්ව ඇකඩමියක් දියත් කළහ.

නමුත් රටේ ඉතිරි කොටස ගැන කුමක් කිව හැකිද? විරෝධතා අඩු වී ඇතත් ඒ හරහා ගෝඨා නෙරපා හැරූ බව පිළිගත යුතුය. ‘රනිල් රාජපක්ෂ’ ආණ්ඩුව ගැන විවේචන පවතී; නමුත් නව රජයට සහය දක්වන සහ වඩාත් ස්ථාවර අනාගතයක් අපේක්ෂා කරන අය ද සිටී. එසේ වුවත් ආර්ථිකය තවමත් අස්ථායී වන අතර විදුලි කප්පාදුව දිගටම සිදුවේ, විශාල ආහාර හිඟයක් අත ළඟය. මෙතනින් රට කොහාට යයි ද?

අපි දැනන් හිටියා නම් කියලා හිතෙනවා.

වැඩිදුර කීයවීම්:

30000 View of the Economy - 18.01.2022.docx44.5KB
අප ණය ගෙවීම පැහැර හැර ඇත!
Tamil: Gota Go, Gota Gone — Sri Lanka’s Bastille Moment

@September 25, 2022

Read this article in English | සිංහල | தமிழ்