පොහොර: ශ්‍රී ලාංකික ඛේදවාචකයක්

පොහොර: ශ්‍රී ලාංකික ඛේදවාචකයක්

අප ඇත්තටම පොහොර භාවිත කරන්නේ ඇයි? මෙම ලිපියෙන් 17 වන සියවසේ දී ඉතා බලපෑම් සහගතව පැවති සංකල්පයක් වූ රොබට් මැල්තස් විසින් හඳුන්වා දුන් ‘සාගත බිය’, පොහොර අලුතෙන් සොයාගැනීම, ගෝලීය කෘෂිකර්මාන්තයට සහ අපගේ කුඩා යටත් විජිත රාජ්‍යයට එය ඇති කළ බලපෑම යන කරුණු අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

@March 26, 2022

Read this article in English | සිංහල | தமிழ்

image

කාබනික ගොවිතැන නම් හත්පොළේ ගා ගැනීම සහ රජය එක රැයෙන් රසායනික පොහොර තහනම් කළ ආකාරය පිළිබඳව ඔබ බොහෝ දෙනා මේ වන විට අසා ඇති. ඉන් රට තුළ ඇති වුණු ප්‍රශ්නවලට අමතරව එය ‘කාබනික ගොවිතැනට හදිසියේ මාරුවීම ව්‍යසනයකට තුඩුදුන්නේ කෙසේ ද’, ‘ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන මහ විනාශකාරී ලෙස වැරදී ඇත’ වැනි ජාත්‍යන්තර සිරස්තලවලට ද හේතු වන ලදි.

කෙසේ වුවත් අපි මුලින්ම කලින් සිදු වුණු දේවල්වල සාරාංශයක් සලකා බලමු:

වඩවඩාත් දරුණු අතට හැරෙන ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, එතරම් සිතා නොබලා ජාතික මට්ටමින් සිදු කළ කාබනික කෘෂිකර්මාන්ත අත්හදා බැලීම මෙම සීත ඍතුවේ දී නතර කරන ලදි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රතිඥා දුන්නේ රටේ ගොවීන් අවුරුදු 10 ක කාලයක් තුළ කාබනික කෘෂිකර්මාන්තයට යොමු කරන බවට ය. පසුගිය අපේ‍්‍රල් මාසයේ දී රාජපක්ෂ ආණ්ඩුව එම පොරොන්දුව අනුව යමින් රට පුරා රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය හා භාවිතය තහනම් කරමින් රටේ මිලියන දෙකක් පමණ වන ගොවීන්ට කාබනික වගාවට යොමු වීමට නියෝග කරන ලදි.

එහි ප්‍රතිඵලය ම්ලේච්ඡ සේම වේගවත් විය. කාබනික ගොවිතැන් ක්‍රම මගින් සාම්ප්‍රදායික ගොවිතැන හා සැසඳිය හැකි අස්වැන්නක් ලබා ගත හැකි බවට කරන ප්‍රකාශයන් බොරු කරමින් මුල් මාස හය තුළ පමණක් දේශීය සහල් නිෂ්පාදනය 20% කින් පහත වැටුණි. සහල්වලින් බොහෝ කාලයක් පුරාවට ස්වයංපෝෂිතව සිටි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වටිනා සහල් තොග ආනයනය කිරීමට සිදුව ඇති අතර ජාතික ආහාර වේලෙහි ප්‍රධාන තැනක් උසුලන මෙම ආහාරයෙහි දේශීය වෙළඳපොල තුළ මිල 50% කින් වැඩි වී ඇත. මෙම තහනම රටේ ප්‍රධාන අපනයනය සහ විදේශ විනිමය උපයන මාර්ගය වන තේ අස්වැන්න ද විනාශ කරන ලදි.

"ලෝකයේ ප්‍රථම 100% කාබනික ගොවිතැන් කරන ජාතිය පිහිටුවීමේ නොසැලකිලිමත් යෝජනා ක්‍රමය" යැයි අල්-ජසීරා විසින් විස්තර කරන එම වෑයම හේතුවෙන් ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුව ද ගොවීන්ට ඩොලර් මිලියන 200 ක් ගෙවීමට රජයට සිදුව තිබේ.

අපි පියවරක් පසුපසට ගෙන මූලික කරුණු සැලකිල්ලට ගනිමින් ගැටලුව විමසා බලමු. පළමුව:

අප පොහොර භාවිත කරන්නේ ඇයි?

පොහොර සම්බන්ධයෙන් හොඳින් තේරුම් ගැනීම උදෙසා ප්‍රථමයෙන් ඓතිහාසික පැතිකඩ සලකා බලමු.

17 වන සියවසේ අගභාගයේ දී ඉංග්‍රීසි ජාතික පූජකවරයෙකු වූ තෝමස් රොබට් මැල්තස් ජනගහන මූලධර්මය පිළිබඳ රචනයක් (An Essay on the Principle of Population) නම් පොත ලිවීය. [1] එය මූලික වශයෙන් කරුණු දෙකක් අනුමාන කරන ලදි:

1) වර්ධනය වන ජනගහන අනුපාතය ශ්‍රම සැපයුම ඉහළ යාමට දායක වන අතර ඒ හේතුවෙන් අනිවාර්යයෙන්ම වැටුප් අඩු වීම සිදු වේ.

2) කාලයත් සමඟ ආහාර වැනි සම්පත් නිෂ්පාදනය කිරීමට සමාජයකට ඇති හැකියාව අභිබවා ජනගහනය වර්ධනය වනු ඇත. තාක්ෂණික දියුණුව දැවැන්ත ජනගහන වර්ධනයකට තුඩු දෙනු ඇත. එම දැවැන්ත ජනගහන වර්ධනය ආහාර සැපයුම මත තවදුරටත් පීඩනයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ආහාර සැපයුම අඩාල වේ. සාගත, යුද්ධ ආරම්භ වන අතර මිනිසුන් සමූහ වශයෙන් මිය යනු ඇත. මෙය මැල්තූසියන් ව්‍යසනය (Malthusian catastrophe) ලෙස හඳුන්වයි.

රූපය: මැල්තූසියන් ව්‍යසනයක් දැක්වෙන ප්‍රස්තාරයක්. ජනගහනයේ ඝාතීය වර්ධනය සීමිත සම්පත් නිෂ්පාදනය සමඟ සසඳා පෙන්වයි.
රූපය: මැල්තූසියන් ව්‍යසනයක් දැක්වෙන ප්‍රස්තාරයක්. ජනගහනයේ ඝාතීය වර්ධනය සීමිත සම්පත් නිෂ්පාදනය සමඟ සසඳා පෙන්වයි.

මෙම චින්තනය කෙතරම් බලපෑමක් කළේ දැයි අධිතක්සේරු කිරීම අපහසුය. මැල්තස්ගේ පොත 1800 සංගණන පනතට මඟ පෑදූ අතර සෑම වසර 10 කට වරක් ජන සංගණනයක් පැවැත්වීමේ භාවිතය අප ඇති කරගන්නේ මේ හරහා යි. අප සතුව රාජ්‍ය සංඛ්‍යාලේඛන තිබීමට ද ප්‍රයෝගිකව ඇති මූලික හේතුව මෙයයි. එය පරිණාමය පිළිබඳ ඩාවින්ගේ චින්තනයට පවා දායක විය. පවුල් සැලසුම් කිරීම වටා ඇති චින්තනයේ බීජ බොහොමයක් ද මැල්තූසියානු සම්භවයකින් යුක්ත වේ. [2]

ඇත්ත වශයෙන්ම, එය නොවැළැක්විය හැකි දෙයක් ලෙස එකල පෙනෙන්නට ඇත. ආහාර නිෂ්පාදනය කිරීමේ පැරණි ක්‍රම තිරසාර වූ නමුත් ඒවාට විශාල ශ්‍රම ශක්තියක් අවශ්‍ය වූ අතර ලෝකයේ ජනගහනය වර්ධනය වෙමින් පැවතිනි. රනිල කුලයට අයත් බෝගවලට පසට නයිට්‍රජන් එකතු කළ හැකි නමුත් ලෝකය කඩල සහ බෝංචිවලින් වැසී නොමැති අතර ස්වාභාවික ක්‍රියාවලිය සිදුවන තෙක් බලා සිටීම ලබාගත නොහැකි සුඛෝපභෝගී භාණ්ඩයක් මෙනි. මක්නිසාද යත්, අවශ්‍යතාවය තිබුණේ මෙම වසරට, ලබන වසරට සහ ඊට පසු වසරට අවශ්‍ය සාමාන්‍ය බෝග සපයා ගැනීමට නිසාය. මේ අතරතුර ජනතාව විවිධ ආකාරයේ රැකියා වෙත මාරු වීම ද සිදුවෙමින් පැවතිනි.

ඊට පසුව ලෝක යුද්ධ ඇති වුණි. විශේෂයෙන්ම, අපි ජර්මානු-යුදෙව් ජාතික විද්යාඥ ෆ්රිට්ස් හේබර් (Fritz Haber) විසින් සොයා ගන්නා ලද සහ ජර්මානු ජාතික රසායනඥ කාල් බොෂ් (Carl Bosch) විසින් පුළුල් කරන ලද Haber-Bosch ක්‍රියාවලිය වෙත පිවිසියෙමු. Haber-Bosch ක්‍රියාවලිය වාතයේ නයිට්‍රජන් භාවිතයෙන් ඇමෝනියා නිපදවයි. මෙය පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අපූරු ප්‍රවෘත්තියක් වූ අතර එසේම අප කෘතිම, නයිට්‍රජන් පදනම් වූ පොහොර ලබාගන්නා ආකාරයත් එයයි.

ඒ අයුරින් දශක ගණනාවක් තිස්සේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍යවල සිදු වූ වර්ධනයේ අවශේෂ කෘෂිකාර්මික විප්ලවයේ පදනම, එනම් පොහොර දක්වා පරිවර්තනය විය. තවද එය මැල්තුසියානු චින්තනය ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් අසාර්ථක කරයි.

රූපය Sid Meier ගේ Civilization VI වෙතින්.
රූපය Sid Meier ගේ Civilization VI වෙතින්. civilisation.com හරහා ලබාගන්නා ලදි.

Civilization මාලාව වැනි වීඩියෝ ක්‍රීඩාවක් අනුව එය පිළිබඳව සිතීම මෙය තේරුගනීමට ඔබට උපකාරී වේ. යම් අවස්ථාවක, ඔබට ගොවිපලවල් ගොඩනගා ගත හැකි ඉඩම් ප්‍රමාණය සීමිත වනු ඇත. එසේ වුවද ජනතාව පෝෂණය කිරීමට, ඔබ මේ රට සිර කර ඇති ජාත්‍යන්තර වෙළඳපොළට සැපයීමට, ඔබ බෝග වගා කිරීම කළ යුතුය.

ඔබ කරන්නේ කුමක් ද? ඔබ අක්කරයකින් ලැබෙන අස්වැන්න උපරිම කිරීමට ක්‍රම සොයයි. ඔබ පොහොර මිල දී ගනියි. ඔබ ගොවීන්ට ඔවුන්ගේ ඵලදායිතාවය වැඩි කළ හැකි දේ පිළිබඳව කියයි. ඔවුන්ට ලාභදායී ලෙස ඒවා ලබාගැනීමට හැකිවන පරිදි ඔබ දිරිගැන්වීම් හඳුන්වා දෙයි. විශිෂ්ටයි! දැන් ඔබට ඔබව පෝෂණය කළ හැකිය.

මෙම නව දෑ කොතරම් ප්‍රබලද යත් Our World in Data මෙසේ සටහන් කරයි: "මෙය කියවන සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේම පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ 20 වන සියවසේ නව නිපැයුම මත බව පැවසිය හැක." ඇත්ත වශයෙන්ම, ලෝකයේ බොහෝමයක් ප්‍රදේශ එවැනි පොහොර මත දැඩි ලෙස රඳා පවතින අතර මෙම 2017 ප්‍රස්ථාරයෙන් ඒ බව පෙනේ.

රූපය Our World in Data වෙතින්. ලොව පුරා හෙක්ටයාරයකට භාවිත කරන නයිට්‍රජන් පොහොර ප්‍රමාණය ඉන් පෙන්නුම් කරයි.
රූපය Our World in Data වෙතින්. ලොව පුරා හෙක්ටයාරයකට භාවිත කරන නයිට්‍රජන් පොහොර ප්‍රමාණය ඉන් පෙන්නුම් කරයි.

දැන් ජනගහනය වැඩිවේ. අපනයන අස්වැන්න වැඩිවේ. එම පොහොර දැන් ඔබේ පැවැත්මේම කොටසක් බවට පත්වේ.

පොඩ්ඩක් ඉන්න, ඉතිහාසයේ කවදා හරි තැනක අපි ස්වයංපෝෂිත වෙලා හිටියේ නැද්ද?

දේශපාලනඥයින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව සහල් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත රටක්ව පැවති කාලයක් පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම, ඉහත සඳහන් කළ ForeignPolicy හි පළවූ ලිපිය පවා පවසන්නේ ශ්‍රී ලංකාව “දිගුකාලීනව සහල් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතව” පැවති බවයි.

පොදුවේ ගත් කල, ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරාවට කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිතව පැවත නැත. ශ්‍රී ලංකාවට ආනයනය කළ කොටන ලද සහල් පිළිබඳව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත මෙන්න. [5]

පොහොර භාවිත කරමින් පවා ස්වයංපෝෂිතව සිටි බවට පැවසෙන මිථ්‍යා-ඓතිහාසික කතා සැබෑ කිරීමට අපට නොහැකි වී ඇත.

ජනගතව ඇති පොදු මිථ්‍යාවක් වන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයේ දී ශ්‍රී ලංකාව තමන්ගේ පරිභෝජනයට ද ආහාර සපයාගෙන, තවත් මිලියන 21 කට අධික ජනගහණයකට ද ආහාර සැපයීමට සමත් වූ බවයි.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත ජාතියක් ලෙස සැලකූ මිථ්‍යාවේ මූලය දෙස විවේචනාත්මකව බැලූ මෙම ලිපියෙන් අප ගවේෂණය කර ඇති පරිදි එම කතාවත් ගැටලුවලින් පිරුණු එකක්. අපි පොළොන්නරු රාජධානියේ ජනගහනය ඇස්තමේන්තු කිරීමේ පොදු ආකාරය සලකා බැලුවෙමු - ඒ ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් හමුදාවේ ප්‍රමාණය යොදාගෙන ප්‍රතිලෝම වශයෙන් ගණනය කිරීම මගිනි. එම ප්‍රකාශයන් ලෝක ඉතිහාසය පිළිබඳව අප දන්නා දේ සමඟ කිසිසේත් සමපාත නොවන බව අපි පෙන්වා දුන්නෙමු. නවීන ගෝලීය ආර්ථිකයක් සමඟ අන්තර් ක්‍රියා කිරීම කෙසේ වෙතත් නවීන ශ්‍රී ලාංකීය ජනගහණය පෝෂණය කිරීමට පවා පැරැන්නන්ගේ ක්‍රම භාවිතය හදිසියේ ආරම්භ කිරීමෙන් අපට හැකිවේ යැයි පවසන විශ්වාසදායක සාක්ෂි නොමැත.

මේ අතර ගෝලීය දකුණේ...

ශ්‍රී ලංකාව වැනි රටවල, යටත්විජිතකරණය සහ එහි වතු කෘෂිකර්මය දෙවැනි බරක් එකතු කරන ලදි. මෙම ආකෘතියේ රටවල් විශාල ජාලයක් වූ අධිරාජ්‍යයක් සඳහා සම්පත් පොම්ප කරන එන්ජින් විය. මෙය, තිරසාර නමුත් මන්දගාමී සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන, අපනයන මත පදනම් වූ වාණිජ වැවිලි කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීමට හේතු වූ අතර නිෂ්පාදනය උපරිම කිරීමට ඉමහත් දිරිගැන්වීමක් ලැබිණි. ලබාගත හැකි සම්පූර්ණ ජයග්‍රහණ පිළිබඳව ඇති කළ උත්තේජනය, මෙම රසායනික ද්‍රව්‍ය 'හරිත විප්ලවය' යන ධජය යටතේ ගෝලීය දකුණට අපනයනය කිරීමට හේතු වන ලදි. [3]

අපි මෙම බලපෑම තව ටිකක් හාරා බලමු. අක්කරයකින් ලැබෙන අස්වැන්න වැඩි කිරීම සඳහා පැරණි ක්‍රමවලට පොහොර එකතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාව වැනි රටවල් අපගේ කෘෂිකර්මාන්තය තුළ ඒකවගා බෝග විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යාම ආරම්භ කරන ලදි. විශාල වනාන්තර ප්‍රමාණයක් කපා ඒවා විශේෂිත, තනි බෝග වගාවන් බවට පත් කරන ලදි. [4]

එහි ප්‍රතිඵලයක් ලෙස, තේ වතුවල තේ වගා කෙරේ. කුඹුරුවල වී වගා කෙරේ. අන් සියලු දෑ ද මෙයාකාරයට වගා කෙරේ. බෝග මාරුවක් සිදු නොවන තරම් වන අතර ස්වාභාවික ක්‍රියාවලීන් හරහා පස සාරවත් කිරීම පිළිබඳව කිසිඳු අපේක්ෂාවක් නොමැත. ඒ වෙනුවට අපට ඇත්තේ වල්නාශක, පළිබෝධනාශක, සහ අකාබනික පොහොර යන ත්‍රිත්වයයි.

Mal B විසින් ගත් Flickr හි පළකරන ලද තේ වත්තක ඡායාරූපයක්:

මෙමගින් ස්වභාවිකව පස සාරවත් වීම සහ පස අලුත් වීම නැති වේ. පාංශු ඛාදනය ආරම්භ වී ස්වභාවිකව ලැබෙන අස්වැන්න අඩු වූ විට කුමක් සිදුවේ ද? දැන් ඔබට නිෂ්පාදනය පවත්වා ගැනීම සඳහා විශාල පොහොර ප්‍රමාණයක් යොදනවා හැර වෙනත් විකල්පයක් නැත.

පරිසරවේදී සහ ශාස්ත්‍රඥ ආචාර්ය වන්දන ශිවා මෙසේ සටහන් කරයි: 'මිලිටරීකරණය කරන ලද කෘෂිකර්මාන්ත ආකෘතිය' මූලික වශයෙන්ම තිරසාර නොවේ. මෙය ඇත්ත වශයෙන්ම, Our World in Data හි දැක්වෙන පොහොර යහපත් වන්නේ කෙසේද යන්න පිළිබඳ ගණිතමය තර්කය සහ ජීවතුන් අතර සිටින සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුම ඔවුන්ගේ පැවැත්ම අරභයා මෙම සොයාගැනීමට ණයගැති යැයි පැවසෙන පොහොර පිළිබඳ සුබවාදී ආකල්පයට හාත්පසින්ම වෙනස් වේ.

කෙසේ වෙතත්, කරුණු දෙකක් එකවර සත්‍ය විය හැකිය. මනුෂ්‍ය වර්ගයාගේ ආහාර නිෂ්පාදන හැකියාවන් අහස උසට නංවා ලූ කෘෂිකාර්මික විප්ලවයක් පොහොර මගින් සක්‍රීය කළ බව සත්‍යයකි. එය අපට ජීවත් වීමට පමණක් නොව, අපගේ මුතුන් මිත්තන්ට අපව දෙවිවරුන් මෙන් පෙනෙන තරම් කැලරි ප්‍රමාණයක් නිතිපතා ගැනීමට ද ඉඩ සලසයි.

යටත් විජිතකරණයේ සහ සම්පත් නිස්සාරණයේ අවශ්‍යතා උදෙසා ගෝලීය දකුණට ගෙන එන ලද මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපව උගුලක හසු කළ බව ද සත්‍යයකි. දැන් ශ්‍රී ලංකාවේ මිලියන 22 කට ආසන්න ජනතාවක් සිටින අතර ඔවුන්ට කන්න අවශ්‍යයි. එසේම යටත්විජිතකරණයේ කෲර අවශේෂයක් වන අප අපගේ ආර්ථිකයේ පදනම කොටගෙන ඇති තේ වැනි පස විනාශ කරන සහ පොහොර නොමැතිව පැවතිය නොහැකි ඒකවගා බෝගවලට ද  මුහුණ දීමට අපට සිදුවේ.

මැල්තස්ගේ අවතාරය

අප මෙවැනි අවස්ථාවක කරන්නේ කුමක් ද?

මෙම ලිපිය යම් දෙයක් පැහැදිලිව දක්වා තිබේ නම් ඒ පොහොරවලට චෝදනා නොකළ යුතු බවයි. Our World in Data ඉතා පැහැදිලිව පෙන්වා දෙන පරිදි, එය සමස්ත ලෝකයටම මහත් ආශිර්වාදයක් වී ඇත.

ඒ වෙනුවට, අපගේ ගැටලුව වන්නේ අප ගොඩනගා ඇති (හෝ නැවත ගොඩනැගීමට අපොහොසත් වූ) කෘෂිකාර්මික ක්‍රමයයි: එය අපගේ ජනගහනය සාධාරණ මිලක් යටතේ පෝෂණය කිරීම සඳහා පාරිසරික විනාශය, ඒකවගා බෝග, ආහාර ආනයනය සහ පොහොර ආනයනය යන සියල්ල මත රඳා පවතින පද්ධතියකි. ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය ගොඩනගා ඇත්තේ ක්‍රියාත්මක වීමට විශාල අධිරාජ්‍යයක් මත යැපෙන පරිදි හිතාමතාම පවත්වාගත් තනි යටත් ඒකකයක් වන සිලෝන් හි මළ කඳ මතය.

මෙයින් සිදුවෙන්න පුළුවන් දේවල් දෙකක් පැවතිනි.

එකක් වඩාත් දේශීය, තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා වන ප්‍රතිසංස්කරණ වේ. මෙම විශේෂිත ආකෘතිය මත අපගේ යැපීම අඩු කිරීම සඳහා වඩාත් තිරසාර, පැරණි ක්‍රම නැවත ගෙන ආ හැකි බව බොහෝ දෙනා වසර ගණනාවක් තිස්සේ පෙන්වා දී ඇත.

දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ අපේ විදේශ ණය ගැටලු (අප ඒ පිළිබඳව වාර්තා කර ඇත) දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. පද්ධතිය තිරසාර නොවන බව අපි දශක ගණනාවක් තිස්සේ දැන සිටියෙමු.

නමුත් මෙය ප්‍රවේශමෙන් කළ යුතු බව පැහැදිලිය. මැල්තස් යනු ලෝක සාමාන්‍යය ප්‍රස්ථාරයේ අවතාරයක් පමණක් විය හැකි නමුත් මෙහිදී ඔහුව මඟ හැරීමට අප ප්‍රවේශමෙන් සැලකිලිමත් විය යුතුය.

1980 ගණන්වලදී වැඩි අවධානයක් යොමු කළේ 'ඒකාබද්ධ පාංශු සාරවත් කළමනාකරණය' නමින් හැඳින්වූ දෙයටයි. පසට නිකන්ම පොහොර පොම්ප කිරීමෙන් ඉවත් වී කාබනික කොම්පෝස්ට් තාක්ෂණයෙන් පස සාරවත් කිරීම මෙහි අරමුණ විය. දන්දෙණිය සහ Caucci ශ්‍රී ලංකාවේ කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ ඔවුන්ගේ අධ්‍යයනයේ සඳහන් කරන පරිදි මෙය කොම්පෝස්ට් සෑදීමේ ක්‍රම, කොම්පෝස්ට් යෙදීමේ අනුපාත සහ කොම්පෝස්ට් යෙදීමේ ප්‍රතිලාභ පිළිබඳ පර්යේෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට හේතු විය. කෙසේ වෙතත්, කාබනික පොහොර යෙදීම සැබවින්ම ජනප්‍රිය නොවූ බව ඔවුහු සොයා ගත්හ. ගොවීන්ට අමුද්‍රව්‍ය සොයා ගැනීම දුෂ්කර වූ අතර, කොම්පෝස්ට් නිෂ්පාදන කාලරාමුව ඉල්ලුමට ගැලපෙන ආකාරයට සකසා ගැනීම පිළිබඳව ගැටලු ඇති විය. [6]

ඓතිහාසික සාක්ෂි පමණක් ප්‍රමාණවත් නොවන බැවින් මෙම අදහස් සඳහා පුළුල් ක්ෂේත්‍ර පරීක්ෂාවක් තවදුරටත් අවශ්‍ය වේ. සහල් අක්කරයක් පවත්වා ගෙන යාමට සහ එය සරු කිරීමට ඊට ආසන්නයේ ඇති වනාන්තර අක්කරයක් නඩත්තු කිරීමට අවශ්‍ය වන හෝ වසරක් සහල්, ඊළඟ වසරේ වෙනත් බෝගයක් ලබාදෙන බෝග මාරු කිරීමේ කාලසටහනක් හෝ සිතින් මවාගන්න. අප ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කුමන බෝගවලට ද? අප ආනයනය කරන්නේ කුමක් ද? කොපමණ ද? මෙම නව යෝජනා ක්‍රමය යටතේ අප පොහොර වෙන් කරන්නේ කුමක් සඳහා ද? මෙම වෙනස්කම් සිදු කරන අතරවාරයේ අප මිනිසුන් පෝෂණය කරන්නේ කෙසේ ද? අප තේ, පොල්, රබර් අපනයනය නොකරන්නේ නම්, අප අපගේ ආර්ථිකය ගොඩනඟන්නේ කුමක් හරහා ද? අප මාරු වන්නේ කෙසේ ද? අප මාරු කිරීම කරන කාලය තුළ අපට ඇති ආහාර සංචිත මොනවා ද?

අලංකාරෝක්ති දැක්වීම පහසුයි. මිලියන 21.9 ක ජනතාවක් පෝෂණය කිරීම ඊට වඩා දුෂ්කර යි.

තවත් විකල්පයක් ඇත: එනම් පොහොර භාවිතය තවත් වැඩි කිරීමයි. 2016 දී පළවූ පර්යේෂණ පත්‍රිකාවක් පෙන්වා දෙන්නේ මෙයයි: සහල් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම මගින් 2050 වන විට ශ්‍රී ලාංකිකයන් මිලියන 25.3 ක් (ප්‍රක්ෂේපිත ජනගහනය මිලියන 23.8 ක් පමණ වේ) පෝෂණය කළ හැක. කෙසේ වෙතත්, මෙම වර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා, ජල පරිභෝජනය සහ නයිට්‍රජන් පොහොර යෙදීම පිළිවෙළින් 69% ක් සහ 23% ක් තරම් ප්‍රමාණවලින් වැඩි කිරීම අවශ්‍ය විය හැකිය. මෙම තක්සේරුවෙන් පෙන්නුම් කරන්නේ ස්වයංපෝෂිතභාවය පවත්වා ගැනීම සඳහා වන ඉලක්ක තුළට සම්පත් පරිහරණ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වන මාර්ග වඩාත් හොඳින් ඇතුළත් කළ යුතු බවයි.

මෙය දෙවන විකල්පයයි: හරියට ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්. ශ්‍රී ලංකාව කලක සිට ගමන් කළ මාර්ගය මෙය වන අතර ඉහත සහල් ආනයන සම්බන්ධ දත්ත සෙමින් පහත වැටීම වැනි සමහර ප්‍රතිඵල එය පෙන්වයි.

කෙසේ වෙතත්, මෙය දැනටමත් පසට සිදුවී ඇති හානිය ආපසු නොහරවයි. දශක ගණනාවක දුර්වල පද්ධති ආපසු හැරවීම සිදු කළ යුතුව ඇති අතර, තේ වැනි බෝග සම්බන්ධයෙන් නම් මුළුමනින්ම තුරන් කිරීමට පවා සිදු වනු ඇත. ඒ සඳහා දැඩි තීරණ ගැනීම අවශ්‍ය වේ: උදාහරණයක් ලෙස, අපට අපේ දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර වගා කිරීමට හැකියාව ලැබේ නම් අප තේ සහ පොල් අපනයනය නොකිරීම හා එකඟ ද?

මේවා (දළ වශයෙන්) කාබනික පොහොර අලකලංචියට පෙර අපට තිබූ ප්‍රඥාගෝචර විකල්ප දෙක විය.

මේ පසුබිම වැටී ඇති ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. සැබෑ ගණන් මිනුම් මට මෙහි දැක්වීමට හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් සංකීර්ණය. අප කුමන ආකාරයේ වෙනසක් සඳහා සටන් කළ ද, එය එක රැයකින් කළ නොහැක. මෙය දශක ගණනාවක් තිස්සේ කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීමකි. එය දීර්ඝකාලීනත්වය පිළිබඳ බරපතල කැපවීමක් සහ මනාව නිර්වචනය කරන ලද ඉලක්කයක් කරා ස්ථිරසාර, ක්‍රමික වෙනස්කම් කිරීමට අවශ්‍ය දේශපාලන ඉවසීමක් සහිතව පමණක් සිදු කළ හැකි ආකාරයේ වෙනසක් වේ.

මෙම ලිපි මාලාවේ මීළඟ කොටසින්, අපි වසර ගණනාවක් පුරාවට විවිධ ආණ්ඩු විවිධ අංග වෙනස් කිරීමට උත්සාහ කළ ආකාරය සහ නවතම පියවරෙහි, එනම් හදිසියේ, අනපේක්ෂිතව, සහ ජාතික මට්ටමින් කාබනික ගොවිතැනට මාරුවීමේ බලපෑම් සහ ඉන් පසුව ඉන් ඉවත් වීම පිළිබඳව පරීක්ෂා කරන්නෙමු.

මෙම ලිපිය සඳහා දත්ත

Sri Lanka labor force survey.pdf4941.7KB

පාද සටහන්

[1] Malthus, T. R. (1872). An Essay on the Principle of Population.

[2] මැල්තුසියානු චින්තනය ක්ෂණිකව අභාවයට ගියේ නැත: එය විසිවන සියවසෙහිත් කාලයක් යන තෙක් ප්‍රචලිතව පැවතිනි. 1968 දී ස්ටැන්ෆර්ඩ් ජීව විද්‍යාඥ පෝල් ඒලික් වීසින් රචිත The Population Bomb (ජනගහන බෝම්බය) නම් කෘතිය වැඩියෙන්ම අලෙවි වූ පොතක් බවට පත් විය. එය ගොඩනඟා තිබුණේ පැහැදිලිවම මැල්තුසියානු අදහසක් මතය, එනම්, මානව වර්ගයාගේ ජනගහන වර්ධනය ඔවුන්ට තමන්ව පෝෂණය කිරීමට ඇති හැකියාව අභිබවා යන බවයි. TED-Ed හි මෙම නිර්මාණාත්මක වීඩියෝවෙන් පැහැදිලි වන පරිදි, එම පොත විශාල බලපෑමක් ඇති කරන ලදි.

කෙසේවුවත් The Population Bomb විවේචනය කළ ආර්ථික විද්‍යාඥ ජුලියන් සයිමන්, ඒලික් (සහ ඔහුට පෙර මැල්තස්) සත්‍ය දත්ත තේරුම් නොගෙන න්‍යායික සංඛ්‍යා සමඟ පමණක් සෙල්ලම් කළ බවට චෝදනා කළේය. මෙය දැවැන්ත ශාස්ත්‍රීය ආරවුලක් බවට පත් වූ අතර, එය මානව වර්ගයාගේ ඉරණම පිළිබඳව ඩොලර් 1,000 ක ඔට්ටුවකට විරුද්ධවාදීන් දෙදෙනාම එකඟ වීමෙන් අවසන් විය. අවසානයේ දී ඒලික් එම ඔට්ටුව පරාද වූ අතර එය අන් සියල්ලටම වඩා මැල්තස්ගේ අදහස අභාවයට යාමට හේතු විය.

[3] Mapa, R. B. (2003). Sustainable soil management in the 21st century. Tropical Agricultural Research and Extension6, 44-48.

[4] අවාසනාවන්ත ලෙස, මෙම පොහොර සහ අපනයන-අභිමුඛ වූ ඒකවගා බෝග සංයෝගය පස තව තවත් තත්ත්වයෙන් පහත භෙළයි. Oxford Research Encyclopaedia හි දැක්වෙන, තේ පිළිබඳව අධ්‍යයනය කළ පර්යේෂකයන් වන Mukhopadhyay සහ Mondal විසින් ඇතුළත් කර ඇති මෙම සටහන සලකා බලන්න:

තේ පෘථිවියේ සියලුම මහාද්වීපවල පාහේ නිෂ්පාදනය කරන අතර වගා කරන මුළු භූමි ප්‍රමාණය තවමත් වර්ධනය වෙමින් පවතී. එබැවින්, තවමත් තේ වගාව සඳහා ප්‍රමාණවත් ඉඩම් ලබා ගැනීම සඳහා, ලොව පුරාම විශාල වශයෙන් ප්‍රදේශ ඈඳා ගනිමින් පවතියි. එය පැහැදිලිවම වන විනාශයට හේතු වන අතර, පරිසර පද්ධති කෙරෙහි අහිතකර බලපෑම් රාශියක් ඇති කරයි. තේ නිෂ්පාදනයේ වඩාත්ම හානිදායක පාරිසරික බලපෑම වන්නේ වාසභූමි වෙනස් වීමයි (Clay, 2003). වාර්තා ගණනාවකට අනුව, නව වගාවන් සඳහා පහසුකම් සැලසීමට නැගෙනහිර අප්‍රිකාවේ වනාන්තර තවමත් උදුරා දමනු ලැබේ (McLennan, 2011). එසේ වුවද, තේ වගාව යනු වන විනාශයට බලපාන එකම හේතුව නොවේ. භෞමික ශාක හා සතුන්ගෙන් 70% ක් පමණ ජීවත් වන්නේ වනාන්තර පරිසර පද්ධතියේ වන අතර, එබැවින් ස්වභාවික වාසභූමි විශාල වශයෙන් වෙනස් වීමට ලක්වීම එම ප්‍රදේශයේ වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂවලට ජීවත් වීම අපහසු කරයි. යම් විශේෂයක් නැසී ගියහොත් එය ජෛව විවිධත්වය අහිමි වීමට හේතු විය හැකිය. එසේම, හරිතාගාර වායු අවශෝෂණය කරන බැවින්, ගෝලීය උණුසුම නැවැත්වීමට ද ශාක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එමනිසා තේ වගාව සඳහා මහා පරිමාණයෙන් ගස් කැපීම පාරිසරික බලපෑම් ඇති කරයි. තවද, ගස් ඉවත් කිරීමත් සමඟ, පස මතුපිට වියලි කොළ එකතුවීම අඩුවන අතර, එය ඊට සමගාමීව පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම සහ එහි දිගුවක් ලෙස පසෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව අඩාල වීමට හේතු වේ. අධික වර්ෂාපතන ඇතිවන විට, පස ඛාදනයට ලක් වන අතර, පසුව ගං පත්ලෙහි සහ යාබද කාණුවල රොන්මඩ තැන්පත්වීම අවසානයේදී වාරිමාර්ග යෝජනා ක්‍රමවලට තර්ජනයක් වේ.

ඉහළ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා, වතු, වල් නෙලීමෙන් සහ ස්ක්‍රේපර් භාවිතයෙන් වල් පැලෑටිවලින් තොරව තබා ගනී. ස්ක්‍රේපර් භාවිතයෙන් අතින් වල් නෙලීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ හෙක්ටයාරයකට මතුපිට පස් සෙ.මී. 30ක පමණ දැඩි පාංශු ඛාදනයක් සිදු වී ඇත. (Ekanayake, 1994). මෙම හානිය සාමාන්‍යයෙන් වසරකට හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 40ක පාංශු ඛාදනයක් බවට පරිවර්තනය වේ (Krishnarajah, 1985).

[5] මෙම දත්ත ඇත්තටම ශ්‍රී ලංකා රජයේ ආයතනවලින් සපයන ලද ඒවා වුවත් මා USDA භාවිත කළේ, රජයේ ආයතනවලින් සපයන දත්ත අගුලු දමා ඇති (copy+paste කළ නොහැකි) PDF ලේඛනවල ඇති බැවිනි. ඒවා වගු ආකාරයෙන් භාවිත කළ හැකි ආකාරයට සෑදීමට විශාල මහන්සියක් දැරිය යුතු වේ. ඊට සාපේක්ෂව USDA දත්ත මෙවැනි කෙටි දළ විශ්ලේෂණයක් සඳහා වඩාත් පහසු වේ. USDA වාර්තා දෙස බලන විට, ඔවුන් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතන මත විශ්වාසය තබන බව පෙනෙන අතර, එක්සත් ජනපද විදේශ කෘෂිකර්ම සේවයේ (Foreign Agricultural Service) කොළඹ ශාඛාව (නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන) සංස්ලේෂණ සහ වාර්තා සපයයි.

[6] Dandeniya, W. S., & Caucci, S. (2020). Composting in Sri Lanka: policies, practices, challenges, and emerging concerns. In Organic waste composting through nexus thinking (pp. 61-89). Springer, Cham.