Anonymous කතාවස්තුව

ඔබ සාදයකට නන්නාඳුනන පුද්ගලයින්ට ආරාධනා කළහොත්, එහි ප්‍රතිවිපාක විඳීමට ද ඔබට සිදු වේ. මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ මෑතක දී ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වූ Anonymous හා සම්බන්ධ සිදුවීම පිළිබඳව කාලරාමුවක් ස්ථාපිත කිරීමට යි. අපි එහි බලපෑම කෙතරම් ද යන්න තක්සේරු කරන අතර, Anonymous ව්‍යාපාරය ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නෙමු.

@June 8, 2022

Read this article in English | සිංහල | தமிழ்

Featured Image -
Featured Image - Anonymous9000/Flickr
කතාව සහ විශ්ලේෂණය: නඩීම් මජීඩ් කරුණු සොයාබැලීම සහ දත්ත දෘශ්‍යකරණය: ඉෂාන් මරික්කාර් සංස්කරණය: අයිෂා නසීම් සහ ටිනීකා ද සිල්වා පරිවර්තනය: නිශාදි ගුණතිලක

නිර්නාමික ආරාධිතයා

ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ නඩය කෙරෙහි වූ අමනාපය මාර්තු අග වන විට විශාල වශයෙන් වර්ධනය වී තිබිණි. විරෝධතා උත්සන්න වීමත් සමඟ, රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සහචරයින් සතුව මෙරටින් පිට ඇති ධනය පිළිබඳව හෙළිදරව් කරන ලෙස Anonymous නම් සමාජ ක්‍රියාකාරී හැකර්වරුන් (hacktivists) කණ්ඩායමෙන් කරන ඉල්ලීම් අන්තර්ජාලය පුරාවට දක්නට ලැබීම ආරම්භ වන ලදි. මෙම පණිවිඩ එම කුප්‍රකට කණ්ඩායම වෙත ලැබුණු බවට පළමු ඉඟිය පැමිණියේ එම ව්‍යාපාරය හා සම්බන්ධ විශාලතම සමාජ මාධ්‍ය ගිණුම්වලින් එකක් වන @YourAnonNews නම් ගිණුම හරහා ය. ඔවුන් ශ්‍රී ලංකාවේ හදිසි නීති තත්ත්වය සහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ඉන්දීය ආයතනයක් පළ කළ පෝස්ටුවක් ඔවුන්ගේම ශීර්ෂයක් සහිතව අප්‍රේල් 03 වැනි දින ට්විටර් හි බෙදාගන්නා (quote tweet) ලදි.

Anonymous හා සම්බන්ධ කමක් ඇති බව කියන ගිණුමකින් මේ වනවිට ඉතා විශාල වශයෙන් පැතිරී ඇති ෆේස්බුක් සටහනක් හා සම්බන්ධව ඊළඟ පොස්ටුව පළ කරන ලදි. ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් උගන්ඩාවේ එන්ටෙබී ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත 'මුද්‍රිත ද්‍රව්‍ය' මෙට්‍රික් ටොන් 102 ක් ගුවන්ගත කිරීම පිළිබඳව එම පොස්ටුව හරහා ප්‍රශ්න කර තිබුණි.

සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ අදාළ බඩු තොගය වූයේ උගන්ඩාවේ මුදල් නෝට්ටු බවත් ඇණවුම ලබා දී ඇත්තේ “ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්තශාලාව ද ඇතුළුව ලොව පුරා කර්මාන්තශාලා කිහිපයක් පවත්වාගෙන යන, ගෝලීය වෙළඳපොළට අපනයනය කරන, ගෝලීය ආරක්ෂක මුද්‍රණකරුවෙකු” විසින් බවත් ය.

@GhostClanOfcl නොහොත් The Ghost or The Ghost Squad නම් Anonymous සමඟ සම්බන්ධකම් ඇති බව පැවසෙන තවත් ට්විටර් ගිණුමක් එම පිටත් කළ බඩු තොගය වූයේ ඇමෙරිකානු ඩොලර්ය යන චෝදනාව දිගටම කළ අතර එසේ කළේ ඊට පටහැනි වාර්තා තිබියදීත් ය.

ඇමෙරිකානු ඩොලර් ගුවනින් ගෙන ගිය බවට චෝදනා කරමින් වීඩියෝවක් එම ගිණුම විසින් පළ කළ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින 12 ක් ඇතුළත ඉල්ලා අස්වීම ඇතුළු ඉල්ලීම් ලැයිස්තුවක් ඉන් ඉදිරිපත් කරන ලදි.

අප්‍රේල් 20 දින, #OpSriLanka (Operation Sri Lanka) නැතහොත් ශ්‍රී ලංකා මෙහෙයුම @LatestAnonPress විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ සමඟ පළකළ රූපයට අනුව ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්කය වූයේ gov.lk වෙබ් අඩවි අඩාල කිරීමයි.

#OpSriLanka යන හෑෂ්ටෑගය වත්මන් තත්ත්වයට අදාළව භාවිත වූ පළමු අවස්ථාව මෙය වන අතර වෙබ් අඩවි ගණනාවකට DDos (Distributed Denial of Service) ප්‍රහාර ගණනාවක් එල්ලවීම සමඟ මෙය සමපාත විය.

💡
කෙටියෙන් පැවසුවහොත්, DDos ප්‍රහාරයක් යනු ප්‍රහාරකයෙකු හෝ හැකර්වරයෙකු හෝ විසින් වෙබ් අඩවි සේවාදායකයන් (servers) මත අධික ලෙස කාර්යයන් පටවා සාමාන්‍යයෙන් එම වෙබ් අඩවි භාවිත කරන්නන්ට ඒවා වෙත ප්‍රවේශ වීම දුෂ්කර කිරීමයි. (මෙය මීට වඩා ටිකක් සංකීර්ණයි, නමුත් අපි ඉතා තාක්‍ෂණික ලෙස කරුණු පැහැදීමෙන් වැළකී සිටිමු). [1]

පාඨකයා අප 'සම්බන්ධ යැයි කියන' වැනි වාක්‍ය ඛණ්ඩ නිතර නිතර භාවිත කිරීම සහ පෝස්ටු හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ සෘජුව Anonymous කළා යැයි පැවසීමට අප දිගින් දිගටම දක්වා ඇති දෙගිඩියාව හඳුනාගන්නට ඇත. අප මෙසේ කර ඇත්තේ ව්‍යාපාරයේ විමධ්‍යගත ස්වභාවය හේතුවෙන් ඔවුනට යම් මෙහෙයුමකට ආරාධනා කරන සෑම විටම ඔවුන් සමඟ අනවශ්‍ය අය කිහිප දෙනෙකු ද සිටීම අනිවාර්ය වන බැවිනි.

💡
අතුරු සටහන - මෙය #OpSriLanka හෑෂ්ටෑගයෙහි පළමු භාවිතය නොවේ. 2014 දී, AnonGhost, The Afghan Cyber Army සහ Indian Haxors ඇතුළු Anonymous සමඟ සම්බන්ධ යැයි කියන 'හැක්ටිවිස්ට්' කණ්ඩායමක් වෙබ් අඩවි 129 කට පහර දී එය ප්‍රවර්ධනය කිරීම සඳහා #OpSriLanka හෑෂ්ටෑගය භාවිත කරන ලදි.

#OpSriLanka - ක්‍රියාන්විතය ආරම්භ වේ

මේ දක්වා මෙම ව්‍යාපාරය සාපේක්ෂ වශයෙන් තැනින් තැන ඇති බවක් පෙනෙන්නට තිබුණත්, #AnonymousSaveSriLanka හෑෂ්ටෑගය ඉතා ඉක්මනින් පුළුල් ලෙස භාවිත වීමට පටන් ගත් අතර එය අප්‍රේල් 21 වන දින ඉහළම අගය වාර්තා කරන ලදි.

මෙම පෝස්ටු බොහොමයක දක්වා තිබූ පැහැදිලි ඉල්ලීම වූයේ #GiveOurMoneyBack (අපේ සල්ලි ආපසු දෙනු!) යන්නයි. මෙයින් ඇඟවෙන්නේ ඔවුන්ගේ අපේක්ෂාව වූයේ Anonymous විසින් සොරකම් කළ වත්කම් ඇති ස්ථාන හෙළිකරනු ඇති බවයි.  gov.lk වෙබ් අඩවි අඩාල කිරීමෙන් මෙය ඉටු කළ හැක්කේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට ඇතිවන ගැටලුවකි.

රූපය: ශ්‍රී ලාංකික ට්විටර් භාවිත කරන්නන් ‘ලංකාව බේරා ගැනීමට’ Anonymous ගේ සහය ඉල්ලීම දැක්වෙන ස්ක්‍රීන්ෂොට්
රූපය: ශ්‍රී ලාංකික ට්විටර් භාවිත කරන්නන් ‘ලංකාව බේරා ගැනීමට’ Anonymous ගේ සහය ඉල්ලීම දැක්වෙන ස්ක්‍රීන්ෂොට්

මෙම ආයාචනාවල ප්‍රතිඵල වූයේ මොනවාද? අප්‍රේල් 20 වැනිදා, #OpSriLanka හි 'ප්‍රකාශනය' සිදු වූ දිනයේම, ට්විටර් පරිශීලක @LulzSecSL මෙම ක්‍රියාන්විතය හා සම්බන්ධ වූ පළමු අය අතර විය. Ghost Clan හා අනුබද්ධිත බව සහ එහි දිගුවක් ලෙස Anonymous හා සම්බන්ධ බව පවසමින් ඔවුහු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (Sri Lanka Bureau of Foreign Employment) ලබාගත් දත්ත ප්‍රකාශයට පත් කළහ.

මෙම තොරතුරු අතරට ඊමේල්, පරිශීලක නාම, මුරපද සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ලියාපදිංචි වූ නියෝජිතයින්ගේ විස්තර ඇතුළත් විය. මෙය පහළ මට්ටමේ රාජ්‍ය සේවකයින්ගේ සහ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක් ලෙස දැක්විය හැක.

💡
ඔබටත් පෙනෙන පරිදි පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ හේතූන් මත අප මෙම හෙළි කළ දත්ත හෝ ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කළ මුල් ට්විටර් පණිවුඩය හෝ මෙහි දක්වන්නේ නැත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි දත්ත හෙළි වීම මාධ්‍ය තුළ පුළුල් ලෙස වාර්තා වූ අතර, තවත් ප්‍රහාර තිහක් හඳුනාගැනීමට Watchdog අපට හැකි විය. මෙම ප්‍රහාරවල ඉලක්ක අතරට රාජපක්ෂ හිතවාදී යැයි සැලකෙන රාජ්‍ය සහ පෞද්ගලික මධ්‍ය ආයතන, රජයේ වෙබ් අඩවි මෙන්ම ඊ-වාණිජ්‍ය සමාගමක් අයත් විය.

ඉලක්ක සහ සිදුවී ඇතැයි සැලකිය හැකි හානිය

Handle
DDOS
Compromised
Data Dump
SRIHUBDEV
15
0
0
ANOVNI1
5
0
0
YourAnonSpider
0
1
1
@mrdark3366
1
0
0
@Anon_242424
1
0
0
@_barbby
2
0
0
@Anonymous_Link
1
0
0
@YourAnonNewsE
1
0
0

ඔබට ඉහත පෙනෙන පරිදි Watchdog විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රහාරවලින් බහුතරයක් DDos ප්‍රහාර වේ. මෙයින් 15 කටම Ghost Clan සමඟ සම්බන්ධකම් කියන තවත් ගිණුමක් වන ට්විටර් පරිශීලක @SRIHUBDEV විසින් හිමිකම් කියන ලදි. ඉලක්ක වූ වෙබ් අඩවි අතරට namalrajapaksa.com, police.lk, president.gov.lk, swarnavahini.lk, hiru.lk, lanwacement.com, visittamileelam.com සහ උගන්ඩාවේ බැංකුවක් ඇතුළත් විය.

rupavahini.lk, itn.lk, derana.lk, hirutv.lk සහ parliament.lk ඉලක්ක කරමින් සිදු කළ DDos ප්‍රහාර පහකට @ANOVNI1 ගිණුම විසින් හිමිකම් කියන ලදි.

@YourAnonSpider ගිණුම තමන් සබරගමුව පළාත් පරිපාලන වෙබ් අඩවියට හානි කිරීම පිටුපස සිටින බව කියා සිටින ලදි. එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (Public Utilities Commission of Sri Lanka) දත්ත සමුදායක් ප්‍රකාශයට පත් කරන ලදි.

💡
ප්‍රහාරවල වගකීම භාර ගන්නා ගිණුම් ඇත්ත වශයෙන්ම ප්‍රහාරකයන් දැයි අපට සත්‍යාපනය කළ නොහැක. ප්‍රහාර සිදු වූ කාලරාමුව #OpSriLanka ප්‍රකාශනය සමග සමපාත වන නමුත් මෙය අහම්බයක් විය හැකිය.

පහත ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ඉලක්ක කරගත් වෙබ් අඩවි වර්ග වන අතර ඒවා සියල්ලම රජයට අයත් ඒවා නොවේ.

Watchdog විසින් හඳුනාගත් ප්‍රහාරවලින් හයක් පුද්ගලික ව්‍යාපාරවලට එල්ල විය. රාජපක්ෂ නඩය සමඟ ඇති බව පැවසෙන හිතවත්කම් කෙසේ වෙතත්, මෙම සමාගම්වල ගනුදෙනුකරුවන්ට මෙය බරපතල ආරක්ෂක අවදානමක් ඇති කරයි.

💡
ඔබේ නම, උපන් දිනය සහ හැඳුනුම් ලේඛන වෙත ප්‍රවේශ වීමෙන් තනි වංචාකාරයෙකුට වුවත් ඔබේ ජීවිතය විනාශ කළ හැකිය. මෙම තොරතුරු පහසුවෙන් අනන්‍යතා සොරකම් සහ වංචා සඳහා භාවිත කළ හැකිය. එසේම, දත්ත උල්ලංඝනය කිරීමකට ලක්වන ඕනෑම සමාගමක පාරිභෝගිකයන් වසර ගණනාවක් යනතුරු  තතුබෑම් ප්‍රහාරවලට (phishing attacks) ලක්වීමට බොහෝ ඉඩ ඇත.

ප්‍රහාරකයින් සත්‍ය වශයෙන්ම Anonymous හා සම්බන්ධ දැයි අපට සත්‍යාපනය කළ නොහැක. Anonymous ව්‍යාපාරය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන පුද්ගලයින් මෙම ප්‍රහාර සිදුකිරීමේ හැකියාව ද ඇති බව මෙහි දී මතක් කළ යුතුය.

මෙම ප්‍රහාරවල සහ දත්ත හෙළිදරව් කිරීම්වල බලපෑම තක්සේරු කිරීම අපහසුය. දත්ත හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අප දන්නා දෙය නම් ඒවා ඔබගේ දත්ත මත පදනම්ව පුද්ගලානුබද්ධ කරන ලද වංචාවලට මග පෑදිය හැකි බවයි. දත්ත තොග නිරන්තරයෙන් dark web හි විකුණනු ලැබේ; මෙය සමහර විට වින්දිතයින්ගෙන් කප්පම් ලබා ගන්නා මූල්‍ය වංචාවවලට ද හේතු විය හැක.

මෙය අපව ගෙන එන්නේ ගේට්ක්‍රෑෂර්ස් නැත්නම් මෙවැනි ක්‍රියාන්විතවලට හොරෙන් පනින්නන් යන මාතෘකාවට.

විනෝදය වැඩිකර ගැනීම

ප්‍රහාර දිගටම කරගෙන යමින් තිබියදී සහ විරෝධතා උත්සන්න වෙමින් පවතිද්දී තව දුරටත් විකාර සිදුවන බව පෙනිණි. WhatsApp සහ සමාජ මාධ්‍ය හරහා යම් පණිවිඩයක් පැතිරෙන්නට විය. ලංකා ඊ නිව්ස් ෆේස්බුක් පිටුවේ පළ වූ එම පොස්ටුව රාජපක්ෂ ධනය හෙළිදරව් කිරීමක් යැයි පැවසුනු අතර පුද්ගලයන් කිහිප දෙනෙකු රාජපක්ෂ හිතවතුන් ලෙස හඳුනාගෙන තිබිණි.

මෙහි ඇති සිත්ගන්නා කරුණ නම්, පෝස්ටු පළකළ ගිණුම් Anonymous සමඟ කිසිඳු සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කර නොතිබුණු නමුත්, තම පෝස්ටුවල එම ව්‍යාපාරය පිළිබඳව සඳහන් කිරීමයි.

ටැන්සානියාවේ දියමන්ති ආකර, මාලදිවයිනේ දූපත්, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලූ චිප් (blue chip) සමාගම් කිහිපයක ආයෝජන සහ එක්සත් ජනපදයේ කාමය දනවන චිත්‍රපට සමාගම් කිහිපයක හිමිකාරිත්වය පිළිබඳව පවා මෙම 'කාන්දුව' තුළින් හෙළිකර තිබුණි.

සිත්ගන්නා කරුණ නම්, රාජපක්ෂ හිතවතුන් ලෙස 'හෙළිවුණු' ප්‍රසිද්ධ පුද්ගලයන් අතර, ඇත්ත වශයෙන්ම රාජපක්ෂ පාලනයේ විවෘත විවේචකයින් වූ පුද්ගලයින් ද සිටීමයි.

මෙම හෙළිදරව් කිරීම්වල විශ්වාස කළ නොහැකි ස්වභාවය නොසලකා, මූලාශ්‍රයේ සත්‍යතාව හෝ හෙළිදරව් කිරීම් හෝ තහවුරු කරගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැතිවම, මෙම පණිවිඩය ලැව්ගින්නක් සේ පැතිරිණි. එය ඉක්මනින් WhatsApp හි 'බොහෝ වාර ගණනක් වෙන කෙනෙකු වෙත යැවීමේ' (’Forwarded many times’) සම්මානය ද දිනා ගත් අතර මීම්ස් ගණනාවකට ද පදනම සැපයීය.

මෙහිදී ද, මෙම 'කාන්දුව' හැක්ටිවිස්ට් කණ්ඩායම වන Anonymous විසින් ආරම්භ කළ දෙයක් නොවන බව අපට ස්වාධීනව තහවුරු කළ නොහැක. කෙසේ වෙතත්, මෙම පණිවිඩය කිසිදු දත්ත තොගයකට (data dump) සම්බන්ධ කර නොතිබීම එය දුස්තොරතුරක් බවත් තම ඉලක්කගත ප්‍රේක්ෂකයින්ගේ තමන්ට අවශ්‍ය දෙය විශ්වාස කිරීමේ පෙළඹවීම (confirmation bias) මත පදනම්ව ලකුණු දා ගැනීමේ උත්සාහයක් බවත් පෙන්වයි.

වෙනත් වචනවලින් කිවහොත් - මෙන්න හොරෙන් පනින්නන්!

මෙහෙයුමෙන් පසු

#OpSriLanka මෙහෙයුම හරහා මෙරටින් පිට, රහස්‍යභාවය ආරක්ෂා කරන රටවල තැන්පත් කර ඇති ධනය පිළිබඳ යම් නිශ්චිත තොරතුරු හෙළිදරව් වුණා ද? නැත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත එල්ල කරන ලද DDos ප්‍රහාර සහ දත්ත තොග නිදහස් කිරීම් (data dumps) මෙරටින් පිට තැන්පත් කර ඇති ධනය හෙළිදරව් කරන්නේ නැත. Anonymous ගේ මැදිහත්වීම අපේක්ෂා කළ අයගේ ඉල්ලීම මෙය විය.

ඉතින් අවසානයේ ඉටු වූයේ කුමක්ද? විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත තොග නිදහස් කිරීම සමඟ පුද්ගලික තොරතුරු හෙළිදරව් අපි වීම දුටුවෙමු.

අනෙක් අතට, මෙවැනි ප්‍රහාර මගින් රාජ්‍යයේ සයිබර් ආරක්ෂණ කණ්ඩායම්වල රාජකාරිය බෙහෙවින් දුෂ්කර කරයි.

ශ්‍රී ලංකා රාජ්‍යයේ තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය දුර්වල වන අතර මීට පෙර බොහෝ වාරයක් එය උල්ලංඝනය වී ඇත. පසුගිය වසරේ පෙබරවාරි මස තරම් මෑතක දී .lk ඩොමේන් රෙජිස්ටරය (domain registry) හැක් කරන ලද අතර හෙළි වූ තොරතුරු ඩාක් වෙබ් (dark web) තුළට නිදහස් කරන ලදි.

රාජ්‍යයේ වෙබ් යටිතල ව්‍යුහය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සහ නැවත ගොඩනැගීමේ පිරිවැය දැරිය යුත්තේ මහජනතාව බව ද අප මතක තබා ගත යුතුය - ඒ අපට දැරිය නොහැකි පිරිවැයක්.

පාඨකයන්ට මෙය සැසඳිය හැක්කේ හොඳටම පිස්සු නැටූ රාත්‍රියකින් පසුව තදබල හිසේ කැක්කුමක් සහිතව අවදි වීමකට ය - ඔබ කා සමඟ කුමක් කළා ද යන්න ඔබටම අවිනිශ්චිත ය.

නොපැහිදිලි බවින් ඔබ්බට බැලීම

මෙරටින් පිට තැන්පත් කර ඇති ධනය පිළිබඳ තොරතුරු සොයන්නන්ට ලබා දිය හැකි ශුභාරංචිය නම් දැනටමත් ඒ පිළිබඳව තොරතුරු තොගයක් පවතින බවයි.

2015 දී, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (International Consortium of Investigative Journalists) විසින් සිදු කළ Swissleaks නම් හෙළිදරව් කිරීමකින් පැවසුනේ ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ රහස් ස්විස් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බවයි. ඉන් අනතුරුව, ආන්දෝලනාත්මක චරිතයක් වන ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ ඇවොන් ගාඩ් (Avant Garde) සමාගම පිළිබඳව ද පැනමා පත්‍රිකා හි සඳහන් වන ලදි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙහි 2021 පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනයේ දී අනාවරණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් අක්‍රීය සමාගම් (shell companies) හරහා ලන්ඩන් සහ සිඩ්නි යන නගරවල සුඛෝපභෝගී තට්ටු නිවාස මිල දී ගෙන ඇති බවයි.

මෙම අරමුදල් නීත්‍යානුකූලව උපයාගෙන පැවතීමට යම් හැකියාවක් සෑම විටම පැවතුන ද, ඒ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක විමර්ශනයක් සිදු නොවන බව පෙනී යෑම කනස්සල්ල දනවන කරුණකි.

අපගේ පළමු දත්ත ව්‍යාපෘතිය වූ ශ්‍රී ලංකාවේ දූෂණය හරහා Watchdog විසින් නීතියේ රැහැනින් ගැලවී ගිය ප්‍රධාන දූෂණ සිද්ධීන් ගණනාවක් ඉස්මතු කරන ලදි.

වත්කම් ආපසු අයකර ගැනීම යනු Anonymous ව්‍යාපාරය විශේෂ හැකියාවක් දක්වන දෙයක් නොවේ. දේශීය දූෂණ විරෝධී සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වත්කම් ආපසු අයකර ගැනීම පිළිබඳ ඉතා ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකාවට සොරකම් කළ වත්කම් ආපසු ලබා ගත හැක්කේ කෙසේද, එසේ කිරීමට බලය ඇත්තේ කාටද සහ ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද වැනි වත්කම් ආපසු අයකර ගැනීම පිළිබඳව අප බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නවලට එය පිළිතුරු සපයයි.

ඒ සමඟම පැවසිය යුත්තේ නාඳුනන අයට අපට 'උදව්' කිරීමට ආරාධනා කිරීමට පෙර, දැනටමත් අප සතුව ඇති තොරතුරු සහ සම්පත්වලින් කෙරෙමින් පවතින්නේ කුමක්ද යන්න අප අපෙන්ම අසා ගැනීමට සෑම විටම මතක තබා ගත යුතු බවයි.

පාද සටහන්

1. 1. DDos ප්‍රහාර පිළිබඳ පැහැදිලි කිරීම:

2. Britt MA, Rouet J-F, Blaum D, Millis K. A Reasoned Approach to Dealing With Fake News. Policy Insights from the Behavioral and Brain Sciences. 2019;6(1):94-101. doi:10.1177/2372732218814855

3. Olson P. We Are Anonymous: Inside the Hacker World of Lulzsec, Anonymous, and the Global Cyber Insurgency. New York: Back Bay Books; 2013.

මෙම ලිපිය සඳහා දත්ත

Frequency of Attacks by Sector

Sector
Number of Attacks
State
14
State Media
5
Private Media
5
Private Business
6

Anonymous #OpSriLanka Timeline