ඔට්ටමාවාඩි: සැනසුමක් අහිමි මළවුන්

ඔට්ටමාවාඩි: සැනසුමක් අහිමි මළවුන්

මීට වසර දෙකකට පෙර රජය විසින් COVID-19 වැළඳී මියගිය අය අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු යැයි ප්‍රතිපත්තියක් සම්මත කළ අතර එය පිටුපස අතිථීභීතිකාව හෙවත් පිටස්තරයින් නොරිස්සීම හැර වෙනත් පැහැදිලි හේතුවක් නොතිබිණි. මාස ගණනක ප්‍රයත්නයන් සහ දේශීයව හා ජාත්‍යන්තරව එල්ල වූ බලපෑම් කිරීම්වලින් පසුව එම ගැසට් පත්‍රය අවලංගු කරන ලදි. ඒ වෙනුවට පවුල්වලට සිදු වූයේ නැගෙනහිර පළාතේ ඈත ගම්මානයක තම මිය ගිය ආදරණීයයන් මිහිදන් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සහ ශ්‍රමය සැපයීමටත් ය. ඒ ඉටුකම අරමුදලෙන් එකතු කරන ලද බිලියන ගණනක් ඔහේ තබාගෙන ආණ්ඩුව උඩ බලාගෙන සිටින තත්ත්වයක් තුළ ය.

@August 29, 2022

Read this article in English | සිංහල | தமிழ்

image
කතාව: මොහොමඩ් ෆයිරූස්, අයිෂා නසීම්, අමලිනි ද සේරා සංස්කරණය සහ දත්ත විශ්ලේෂණය: යුධංජය විජේරත්න සහ ටිනීකා ද සිල්වා ඡායාරූප: අමලිනි ද සේරා, අබ්දුල් බාසිර්, මොහොමඩ් ෆාරිස් පරිවර්තනය: නිශාදි ගුණතිලක
  • බලහත්කාරයෙන් ආදාහනය කිරීම් සිදු කළ කාලසීමාවකට පසුව, 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා කාලය තුළ 3600 කට අධික පිරිසක් (ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනයා) ඔට්ටමාවාඩි ප්‍රදේශයේ ඉඩමක භූමදානය කර ඇත.
  • සොහොන් බිම සඳහා ඉඩකඩ වෙන් කිරීමේ දී ප්‍රදේශයේ ගම්වාසීන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි විය; සොහොන් බිම සඳහා වෙන් කර ඇති අක්කර 21.5 න් අක්කර 10 ක් පමණක් භාවිත වේ - ඉතිරිය ‘ආරක්ෂක කලාපයක්’ ලෙස තබා ඇත.
  • ප්‍රදේශවාසීන් කියා සිටින්නේ ආණ්ඩුව වියදම් සඳහා කිසිඳු වන්දි ගෙවීමක් හෝ දායක වීමක් හෝ නොකළ බවයි. ඒ එසේ කරන බවට පොරොන්දුවක් සහ COVID-19 සහන අරමුදල තිබිය දී ය.

කුරිරු ගින්න

COVID-19 වැළඳී මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩබෑමෙන් පසුව දූවිලි වැකි සුදු ට්‍රක් රථයක් සෙමෙන් ඉවතට ඇදෙයි. මජ්මා නගර් හි ඔට්ටමාවාඩි හි නිහඬ විසල්කම තුළ ඇසෙන එකම ශබ්දය බැකෝ යන්ත්‍රය සෙමෙන් සෙමෙන් අලුත් මිනීවලවල් වැලිවලින් පුරවන හඬ පමණි.

image

අප මෙහි සිටින්නේ මන්දැයි තේරුම් ගැනීම සඳහා පළමුව ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදුකළ ආදාහනය කිරීම්වල කුරිරුබව වටහා ගැනීම වැදගත් ය.

2020 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් COVID-19 වැළඳී මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි.

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ මුස්ලිම් ප්‍රජාව COVID-19 ව්‍යාප්ත කරති යැයි අසත්‍ය තොරතුරක් සාමාන්‍යකරණය වී තිබූ පසුබිමක ය. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් COVID-19 උපායමාර්ග යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන ලදි. එහි එක් එක් දිස්ත්‍රික්කවල වෛරසය පැතිරීමේ අවදානම තීරණය කිරීමේ දී ඔවුන් වැඩිම අවදානම් බර පවා දක්වා තිබුණේ මුස්ලිම් ජනයාට යි.

වාර්තාව පසුව ඉල්ලා අස්කර ගත්තත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ වෛරසය භූගත ජලය හරහා පැතිරෙන බවත් එමනිසා COVID-19 වැළඳී මියගිය අය ආදාහනය කිරීමට තීරණය කළ බවත්ය — ආගමික නියමයන්හි දේහයන් භූමදානය කිරීම සහ අවසන් කටයුතු සිදු කිරීම අනිවාර්ය කර ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට තදින් බලපෑ තීරණයක් විය.

image

වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය මලික් පීරිස් ඇතුළු කීර්තිමත් පර්යේෂකයන් පෙන්වා දුන්නේ COVID-19 මළ සිරුරු හරහා පැතිරෙන්නේ නැති බවයි; ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අතුරු මගපෙන්වීම පෙන්වා දුන්නේ COVID-19 වැළඳී මිය ගිය පුද්ගලයන් ආදාහනය හෝ භූමදානය හෝ කළ හැකි බව වන අතර භූගත ජලය දූෂණය වීම පිළිබඳව සඳහනක් එහි නොමැත. 'පවුලේ සාමාජිකයන් සහ සම්ප්‍රදායික භූමදාන කටයුතු සිදුකරන්නන්' හට භූමදානය කිරීමේ ක්‍රියාවලියේ කොටස්කරුවන් විය හැකි බව ද එහි දක්වා ඇත.

කෙසේ වෙතත්, තවත් ඉස්ලාම් භීතිකාව දනවන ලියවිල්ලක් බව පෙනෙන්නට තිබූ රජයේ තීරණය වෙනුවෙන් COVID-19 මරණ කළමනාකරණ කමිටුවේ අධ්‍යක්ෂවරයා වූ උපදේශක අධිකරණ වෛද්‍ය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා පෙනී සිටින ලදි. පෙරේරා ට අනුව 'වෛරසය ක්‍රියා කරන ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් නොමැතිකම' හේතුවෙන් බලධාරීන්ට 'ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදු විය.' මෙම බිය තවදුරටත් ප්‍රචාරණය කළේ රජයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර විසිනි; ඔහු BBC වෙත දන්වා සිටියේ 'භූමදානය කිරීමෙන් භූගත පානීය ජලය අපවිත්‍ර විය හැකි' බැවින් රජය 'විශේෂඥ වෛද්‍ය උපදෙස් පිළිපදින' බවයි.

ආදාහනය කිරීම් බලෙන් සිදු විය; ළදරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාගේම සිරුරු එකම ක්‍රියාවලියකට යටත් විය. සමහර පවුල්වලට ඔවුන්ගේ මිය ගිය ආදරණීයයන්ගේ මළ සිරුර දැකීමට පවා ඉඩ ලබා නොදෙන ලදි. මුලින් භූමදානය කර පසුව පිළිවෙලක් නැති ආකාරයට පවුල් දැනුවත් කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ පිළිබඳව තුච්ඡ උදාසීන බවක් දැක්වූ රෝහල් කාර්ය මණ්ඩලය, 'අණ  පිළිපැදීම' පමණක් සිදු කළ පොලිසිය සහ සන්නිවේදනයේ පරිපූර්ණ ඌනතාවය යන ඒවායේ එකතුව පවුල් කම්පනයට හා කෝපයට පත් කරන ලදි.

වසරකට ආසන්න කාලයක් සිදු කළ බලපෑම් කිරීම් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලින් අනතුරුව රජය අවසානයේ භූමදානය කිරීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි; ඒ භූමදාන කිරීම් 'සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව, නිසි අධිකාරිය විසින් අනුමත කරන ලද, එම අධිකාරියේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන සුසාන භූමියක හෝ ස්ථානයක හෝ' සිදු කළ යුතුය යන කොන්දේසිය මතය.

image

සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 භාර සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසන පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව සිදු කළ මාස ගණනාවක් දීර්ඝ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇත.

“වෛරසය අසාදනය වී මියගිය අයව දිවයින පුරා පිහිටි තමන්ට සමීප සුසාන භූමිවල භූමදානය කිරීමට අවසර දෙන්න කියලා බොහෝ දෙනා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. මෙම කාරණය 2021 දෙසැම්බර් මාසයේ ඉඳන් තාක්ෂණික කමිටුවේ සමාලෝචනයට ලක්වෙමින් තිබුණා, අවසානයේ භූමදානය අනුමත කරලා තීරණය දුන්නේ 2022 මාර්තු 05 වැනිදා” යැයි ඔහු පැවසීය.

තාක්ෂණික සමාලෝචනය පෙර තීරණය අවලංගු කිරීමට එකම හේතුව නොවිය හැක. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කියා සිටියේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම අත්හැරීමට හේතු වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඇති කළ පීඩනය බවයි.

අවසානයේ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මජ්මා නගර් හි ඔට්ටමාවාඩි හි, කුණු කන්දක් ඉදිරිපිට වීදියේ අනික් පස පිහිටි භූමියක් මේ සඳහා තෝරා ගන්නා ලදි. මෙය කොළඹ සිට කිලෝමීටර් 290 ක් පමණ දුරින් පිහිටා ඇත.

image

වෙනත් කිසිම තැනක මළවුන් භූමදානය කළ නොහැකි විය: ඒ හා සමඟම කුණු කන්දක සෙවණෙහි පිහිටි හුදකලා භූමියක ගොඩ ගැසුණු මළ සිරුරු ප්‍රවාහය ආරම්භ විය. 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා පුද්ගලයින් 3,634 දෙනෙකු මෙහි භූමදානය කර ඇත.

පසුගිය වසර පුරාවට, පවුල් තම ආදරණීයයන්ගේ සිරුරු සමඟ වචනාර්ථයෙන්ම කිලෝමීටර් සිය ගණනක් ගමන් කළහ. මුළු පවුලම රැගත් වාහනයකින් මේ ගමන ගියා විය හැකි නමුත්, කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හැරවුමෙන් ඔබ්බට අදාළ භූමියේ මායිම දක්වා යාමට අවසර ලැබුණේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණි. අනෙක් අයට Google Maps හි 'Oddamavadi Janaza Point' ලෙස සටහන් කර ඇති ස්ථානයෙන් බැස, කුඩා ටකරන් පැල්පතක ඔවුන්ට අවශ්‍ය යාඥාවන් සිදු කර, දේහය කැටුව යන අය ආපසු එනතුරු බලා සිටීමට සිදු විය.

image

වාහන වළවල් සහිත වැලි පාර ඔස්සේ සොහොන් බිම වෙත ධාවනය කළ පසු අවසාන හැරවුමේ එක් මුරපොළක් ද භූමදානය සිදුවන ස්ථානයේ තවත් මුරපොළක් ද ඇත. මෙම ස්ථාන දෙක අතර වාහන ගමන් කළ යුත්තේ කලක් කුණු කන්දක් ගොඩගසා තිබූ, දැන් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර පැතලි, ශුෂ්ක ඉඩමක් බවට පත් කළ බිම් කඩක් පසු කර ගෙනය.

image

පොලිස් නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු වැස්ස හයියෙන් පහර දෙන කුඩා ටකරම් මඩුවක රැඳී සිටී. මේ සියල්ලෙහි ‘අල් නූර් පුණ්‍යාධාර පදනම’ ලෙස සටහන් කර ඇත.

ඔට්ටමාවාඩි දෙස බැලීම යනු සත්‍ය වශයෙන්ම සමූහ මිනීවළක් දෙස බැලීමයි. සොහොන් කොත්වල නම් නොමැත, ඇත්තේ අංක පමණි.

image

මළවුන්ගේ ගම

ආරම්භයේ සිටම ඔට්ටමාවාඩියේ ගැටලු තිබිණි.

පළමුවැන්න ඉඩම් හා බැඳී ඇත.

භූමදාන සඳහා වෙන් කර ඇති අක්කර 21.5 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 10 ක් පමණක් භාවිත වේ - ඉතිරිය සුසාන භූමිය වටා ඇති 'ආරක්ෂක  කලාපයක්' ලෙස තබා ඇත.

ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. ෂිහබ්දීන් පවසන පරිදි භූමදාන සඳහා සුදුසු ඉඩමක් හඳුනා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා සහ හමුදාව ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදි. නමුත් ප්‍රාදේශීය සභාව විසින් නිර්දේශ කරන ලද ඉඩම එම භාවිතය සඳහා නොගැලපෙන ඉතා පහත් බිම් මට්ටමක පවතින බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හමුදාවේ තාක්ෂණික කමිටුව විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ලද වෙනත් බිම් කැබැල්ලක් හඳුනා ගන්නා ලදි. මළ සිරුරු ගොඩගැසෙන විට ඉඩම් අත්පත් කර ගැනීම වර්ධනය වූ අතර ඔට්ටමාවාඩි ප්‍රදේශවාසී ජනතාව කනස්සල්ලට පත් වීමට පටන් ගත්හ.

image

මජ්මා නගර් හි ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඒ. එල්. සමීම් අප සමඟ පැවසුවේ 'ආරක්‍ෂිත කලාපය' හේතුවෙන් මිනිසුන් හට තම කෘෂිකාර්මික සහ නේවාසික ඉඩම් අහිමි වූ බවයි. යුද්ධයේ දී අවතැන් වූ පවුල් 320 ක් පමණ ඔට්ටමාවාඩි ප්‍රදේශයේ නැවත පදිංචි කළ බවත් ඔවුන්ගේ සම්පූර්ණ ජීවනෝපාය කෘෂිකර්මාන්තය වටා බැඳී පවතින බවත් සමීම් පෙන්වා දුන්නේය.

“පිරිසිඳු පානීය ජලය ලබා ගැනීමේ ඉඳන් වැසිකිළි පහසුකම් නැතිකම, පාරවල් හරියට නැතිකම වගේ එදිනෙදා ජීවිතයේ දුෂ්කරතා ගොඩකට මේ ගමේ මිනිස්සු මුහුණ දෙනවා. මේ අස්සේ ගම්වාසීන් 14 දෙනෙකුට COVID-19 සුසාන භූමියට ඔවුන්ගේ ඉඩම් දෙන්න වුණා, ඒ සිදු වුණු පාඩුවට කියලා ඔවුන්ට කිසිම වන්දි මුදලක් ලැබුණේ නැහැ.”

තම ඉඩමෙන් අක්කර තුනක් පරිත්‍යාග කළ පළමු පුද්ගලයා ජවුෆර් වන අතර තම ඉඩම කිසිඳු අපේක්ෂාවකින් තොරව පරිත්‍යාග කළ බව ඔහු ප්‍රකාශ කළේය. “මේකේ වළදාලා තියෙන්නේ මුස්ලිම් මිනිස්සු විතරක් නෙමෙයි. වෙන ආගම්වල මිනිසුන්ට පවා ගින්නෙන් තම ආදරණීයයන්ගේ සිරුරු බේරා ගැනීමට අවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාවය එක්ක බලනකොට මගේ ඉඩම මොකක්ද. මං වයිෆ්ට කතා කරලා එයාගේ කැමැත්ත අරගෙන ඉක්මනටම ඉඩම බාර දුන්නා.”

image

ජවුෆර් අපට පැවසුවේ ඔහුගේ සේවය අගය කිරීමක් ලෙස ඔහුට මුදල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බොහෝ ධනවත් මුස්ලිම්වරුන් ඔහුව සම්බන්ධ කර ගත් නමුත් ඔහු එම මුදල් ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත්, රජය විකල්ප ඉඩම් කැබැල්ලක් ලබා දෙන්නේ නම් එය තම වගාවන් කරගෙන යාමට බාර ගන්නා බව ඔහු පැවසීය.

තවත් බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙය නොවේ. තවත් 13 දෙනෙකුට අයත් යාබද ඉඩම් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ලබාගෙන ඇත. මින් එක් අයෙකු වූයේ කෘෂිකාර්මික පසුබිමක් ඇති එම්. ඒ. මුහිදීන් (49) ය. “ප්‍රාදේශීය ලේකම්තුමා අපිව කැඳවලා කිව්වා අපේ ඉඩම් අරගෙන දවස් 10 ක් ඇතුළත විකල්ප ඉඩම් දෙනවා කියලා. දැන් අවුරුද්දකට වැඩියි, අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ,” යැයි ඔහු දුක්මුසුව පැවසීය.

මේ පිළිබඳව ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිහිපවරක්ම ලිඛිතව දැනුම් දුන් අතර, නැගෙනහිර පළාතේ යුද හමුදාපතිවරයා ද හමුවිය. 2022 පෙබරවාරියේ රජය අවසානයේ ප්‍රාදේශීය සුසාන භූමිවල භූමදාන කිරීමට අවසර දෙන තෙක්ම ඉන් කිසිවක් සිදු වූයේ නැත.

දෙවැනි ගැටලුව වූයේ රජයේ සහයෝගය නොමැතිකමයි.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විධිනියෝගය යටතේ භූමදාන සිදු කරන ලදි; නමුත් අන්තිමේ දී දේහයන් මිහිදන් කිරීම හා එම භූමිය නඩත්තු කිරීම ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාව සහ ප්‍රජාව පිටට පැවරිණි.

ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. නවුෆර් පවසන පරිදි එම වසර තුළ සිදු වූ භූමදාන දහස් ගණන සඳහා රජය කිසිඳු ආකාරයක මූල්‍ය ආධාරයක් ලබා දුන්නේ නැත. ප්‍රාදේශීය සභාව විසින් මෙම ස්ථානය සඳහා JCB කැණීම් යන්ත්‍රයක් වෙන් කරන ලදි - තවද එහි ඉන්ධන සහ අලුත්වැඩියා වියදම් පියවා ගැනීමට ද ප්‍රාදේශීය සභාවට සිදු විය.

image

“වසංගතය කාලේ අපි තුන් වතාවක් ලොක්ඩවුන්වලට ගියා… විශේෂයෙන්ම ඒ වගේ අවස්ථාවක මෙම කාර්යයට එක රුපියලක්වත් වෙන් කිරීමට ආණ්ඩුවට නොහැකි වීම කණගාටුදායකයි,” නවුෆර් පැවසීය. මෙය සනාථ කරමින් ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. ෂිහබ්දීන් සඳහන් කළේ බොහෝ වියදම් පියවා ගැනීමට උපකාර කළේ ප්‍රජාවේ පරිත්‍යාගශීලී ආධාරකරුවන් බවයි.

“භූමදාන කටයුතුවලට උදව් කිරීමට අපිට 11 දෙනෙක් හිටියා, අපි ඔවුන්ට කුඩා දීමනාවක් දුන්නා. මේක පවා කරන්න පුළුවන් වුණේ මේකට දායක වුණු කොළඹ සමහර මුස්ලිම් සුබසාධන සංවිධාන නිසා. සොහොන් කොත් ලෙස තබා ඇති පුවරු පවා පරිත්‍යාග කළේ ධනවත් මුස්ලිම් ජාතිකයෝ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මියගිය අයගේ පවුල්වලින් මෙම කිසිඳු සේවාවක් සඳහා මුදල් අය නොකළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. "අපි මේක කළේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දුන් මහජන සේවාවක් විදිහට.”

image

“කවුරුවත් භූමදාන කටයුතු කරන්න ලෑස්ති වෙලා හිටියේ නැහැ - අපිට කවුරුවත් හිටියේ නැහැ,” යැයි ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකු වන ජෙෆ්රි සහ රෆීක් පවසන ලදි. “හමුදාව අපිට (ප්‍රාදේශීය සභාවට) කිව්වා ඒගොල්ලෝ කරන්නේ මළ සිරුරු මෙතනට ගේන එක විතරයි, ඉතුරු ටික අපිට බලාගන්න වෙනවා කියලා. ගමේ ගොඩක් මරණ වුණා; ඒ වගේම මිනිස්සු ආසාදනවලට බය නිසා ගමේ කවුරුත් අපිට වැඩිය ළං වුණෙත් නැහැ, ඒ අය බය වුණා අපි භූමදානවලට සම්බන්ධ වෙලා හිටපු නිසා අපෙන් එයාලට බෝවෙයි කියලා...”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසන පරිදි මළ සිරුරු සුසාන භූමියට ප්‍රවාහනය කිරීම සඳහා ගිය වියදම මියගිය අයගේ පවුල් මත පැටවිණි — උදාහරණයක් ලෙස යාපනයේ සිට ඔට්ටමාවාඩි දක්වා වියදම රු. 85,000 ක් විය. මෙයට පටහැනිව, වෛද්‍ය අන්වර් හම්දානි Watchdog වෙත පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව රෝහලේ සිට සුසාන භූමිය දක්වා ප්‍රවාහන වියදම් දැරූ බවයි.

“ඥාතීන්ට තම ආදරණීයයන්ගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට මජ්මා නගර් වෙත යාමට අවශ්‍ය නම් ඔවුන්ට එහෙම කරන්න පුළුවන්, නමුත් ඔවුන්ගේ වියදම් පියවා ගැනීමට ඔවුන්ට සිදුවෙනවා. ඒ වුණාට මළ සිරුරු ප්‍රවාහනය කිරීමේ වගකීම හමුදාව විසින් බාර ගත්තා - ඊට අදාළ වියදම් ගෙව්වේ හමුදාව විසින්,” යැයි ඔහු නැවතත් අවධාරණය කරන ලදි.

කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවල මුස්ලිම් පල්ලි සම්මේලන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදාව සමඟ එක්ව සිරුරු ප්‍රවාහනය සම්බන්ධීකරණය කළ බව අපි දැන සිටියෙමු. මෙය මනසේ තබාගෙන අපි වැඩි විස්තර දැනගැනීම සඳහා කොළඹ මුස්ලිම් පල්ලි සම්මේලනයේ ලේකම් අස්ලම් ඔත්මාන් සම්බන්ධ කර ගතිමු.

image

ඔත්මාන්ට අනුව, නැගෙනහිර පළාතේ සිරුරු ඍජුවම මජ්මා නගර් වෙත ප්‍රවාහනය කරන ලද අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල මියගිය අය ප්‍රථමයෙන් කොළඹට, කුරුණෑගලට හෝ අනුරාධපුරයට ගෙන ගොස් එතැනින් හමුදා රථ පෙළකින් ඔට්ටමාවාඩි වෙත ගෙන යනු ලැබීය. ඒ සම්බන්ධයෙන් යුද හමුදාව විසින් ඉටු කරන ලද සේවාවන් ද ඔත්මාන් ඇගයීමට ලක් කරන ලදි.

“ආණ්ඩුව විශාල ආර්ථික ආධාර ලබා දුන්නේ නැහැ. මළ සිරුරු ප්‍රවාහනය කිරීමේ සම්පූර්ණ වගකීම යුධ හමුදාව විසින් දැරුවා, ඒ වගේම අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ ශ්‍රම බලකාය ලබා දුන්නා. නමුත් අවශ්‍ය සියලුම මිනී පෙට්ටි ලබා දුන්නේ මුස්ලිම් ප්‍රජාවේ ධනවත් අය. ඒ කාලේ එක මිනී පෙට්ටියක් රු. 4,500 ක් වුණා, මේ වන විට මිනී පෙට්ටි 1000 කට වඩා ලබා දීමට අපිට පුළුවන් වෙලා තියෙනවා.”

පොඩ්ඩක් ඉන්න, ඉටුකම COVID-19 අරමුදලට මොකද වෙලා තියෙන්නේ?

ඉටුකම යනු 'සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය' සහ 'COVID-19 වලට එරෙහි සටනේ පෙරමුණේ සිටින අභීත විරුවන්ට සහාය වීම' සඳහා ගෝඨාභය රාජපක්ෂ සිදු කළ ජාතික අරමුදල් රැස් කිරීම වේ.

හිටපු ජනාධිපතිවරයා පුළුල් ප්‍රචාරණයක් සහිතව සිදු කළ මෙම ව්‍යායාමය හරහා රුපියල් බිලියන දෙකකට අධික මුදලක් ලැබිණි. නිවැරදිවම කිවහොත් රුපියල් 2,024,953,352.70 (නැත්නම් රුපියල් බිලියන දෙකයි මිලියන විසිහතරයි නමසිය පනස්තුන් දහස් තුන්සිය පනස් දෙකයි ශත හැත්තෑවක්).

මුදල් යෙදවූයේ කුමක් සඳහා ද සහ එයින් කොපමණ මුදලක් වැය කළේ ද යන්න දැන ගැනීමට Watchdog තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි. බිලියන දෙකකට වඩා වැඩි මුදලකින් වැය කර ඇති මුළු මුදල වූයේ රු. 197,476,824 ක් පමණි - එනම් රුපියල් එකසිය අනූහත් මිලියන හාරසිය හැත්තෑහය දහස් අටසිය විසි හතරකි.

මුදල් නිකුත් කර ඇත්තේ රාජ්‍ය ආයතනවලට පමණක් වන අතර කිසිඳු පළාත් සභාවකට එක රුපියලක් හෝ බෙදා වත් ඔට්ටමාවාඩියේ වියදම් සඳහා කිසිඳු වියදමක් දරා වත් නැත.

පහත දැක්වෙන්නේ වියදම් සහ ඊට අනුබද්ධ අමාත්‍යාංශවල ලැයිස්තුවක්:

ක්‍රියාකාරකම
වියදම (LKR)
ක්‍රියාත්මක කරන ආයතනය
PCR පර්යේෂණ
42,605,812
සෞඛ්‍ය අමාත්‍යංශය; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
උද්දේශන වැඩසටහන්
67,543,967
සෞඛ්‍ය අමාත්‍යංශය
නිරෝධායන පහසුකම්
38,031,065
සෞඛ්‍ය අමාත්‍යංශය; ආරක්ෂක අමාත්‍යංශය
ජාතික එන්නත්කරන වැඩසටහන
41,545,980
සෞඛ්‍ය අමාත්‍යංශය
ICU ඇඳන් මිල දී ගැනීම
7,750,000
ආරක්ෂක අමාත්‍යංශය

'උද්දේශන වැඩසටහන්' සඳහා මිලියන 67 කට වැඩි මුදලක් වියදම් කර ඇත; මළ සිරුරු 3000 කට අධික ගණනක් සහිත සමූහ මිනීවළ වෙනුවෙන් කිසිවක් වෙන් කර නොමැත. අපගේ විමර්ශනය කරන කාලය වන විට දළ වශයෙන් රු. 1,827,476,528 ක මුදලක් භාවිතයට නොගත් සහ ගණන් නොබැලූ ශේෂය වශයෙන් ඉතිරිව තිබිණි.

මළසිරුරු ගණන් කිරීම

මෙම වසරේ මාර්තු මාසයේ දී Watchdog ඔට්ටමාවාඩි පිළිබඳව පරීක්ෂා කිරීම ආරම්භ කරන ලදි: ක්ෂේත්‍ර චාරිකා සහ සම්මුඛ සාකච්ඡාවලට අමතරව, බොහෝ විට ස්වේච්ඡා සුසාන සේවකයන් විසින් නඩත්තු කරන ලද එහි වළදැමූ අයට අදාළ ලොග් පොත් සටහන් ද අපි ලබා ගත්තෙමු. පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම් සංකේතනය කරනු ලදුව ලිපින කෙටි කර ඇති මෙම කතාව පුරාවට ඔබ දුටු වාර්තා කොටස් මේවාය.

සිතියම්ගත කළ විට මෙම දත්ත අපට පෙන්වන්නේ මෙයයි.

image

සිදු වූ කම්පනයේ පරිමාණය ජාතික තලයේ බව කීම අතිශෝක්තියක් නොවේ. ලංකාවේ සතර දිගින් මළවුන් පැමිණි අතර කොළ පාටින් දක්වා ඇත්තේ ඔවුන් ය. ඔවුන් සමඟ, ඔවුන්ගේ ආදරණීයයන් ද යම් සංවෘතියක්, සමාප්තියක්, සැනසීමක් ලබා ගැනීම සඳහා, විශේෂයෙන්ම පවතින ආර්ථික අර්බුදය මැද, මෙම කුරිරු වන්දනා ගමන පැමිණ ඇත. ඔවුන්ගේ ගමනාන්තය වන්නේ ඉහත සිතියමේ උද්දීපනය කර ඇති රතු කුළුණයි - ඔට්ටමාවාඩි. 2021 අගෝස්තු මාසයේ දී වසංගතය උච්චතම අවස්ථාව වන විට, දිනකට සාමාන්‍යයෙන් සිරුරු 40-60 ක් මෙහි මිහිදන් කරන ලදි. අතාර්කික, ජාතිවාදී ප්‍රතිපත්තියක් සහ නොසලකා හැරීම විසින් මෙම ඛේදවාචකය තුළට ගල්වා ඇති දුක්ඛිත කතාවක් රටේ සෑම ජනගහන මධ්‍යස්ථානයක් සතුවම ඇත.

මෙහි මිහිදන් වෙලා සිටින්නේ මුස්ලිම් ජනතාව පමණක් නොවේ. භූමදානය කරන ලද පිරිසගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බෞද්ධ හා හින්දු ආගම්වලට අයත් වේ. දත්ත දෙස බලන විට මෙවැනි ඇතුළත් කිරීම් දකින කෙනෙකු කම්පනයට පත්වේ.

image

ඉවතලන ලද සහ තැන්පත් කරන ලද නාඳුනන මළ සිරුරු මෙහි ඉතිරිව තිබේ. දින හතක් වයසැති බිළිඳෙකු සහ අවුරුදු 103 ක කාන්තාවක මෙහි සිටි. මිහිදන් කර ඇති විදේශීය ජාතිකයන් මෙහි සිටී. නිලධාරි තන්ත‍්‍රය සහ මාධ්‍ය ප‍්‍රකාශ පිටුපස සැඟවගත් කෲරත්වයේ හුදු නොසැලකිලිවන්ත බව ද මෙහි ප‍්‍රදර්ශනය වෙමින් පවතී.

සොහොන් බිම හරහා ඇවිදීම

මජ්මා නගර් හි භූමදාන කිරීම දැන් නිල වශයෙන් අවසන් වී ඇතත්, එම ස්ථානය අගෝස්තු මස මුල වන විටත් හමුදාවේ පාලනය යටතේ පැවතිනි. හමුදා මුරපොළවල් දෙක ඒ වනවිටත් ක්‍රියාත්මක වූ අතර අවසරයකින් තොරව කිසිවෙකුට මෙම සුසාන භූමියට ඇතුළු විය නොහැකි විණි. මුරපොළේ සිටින නිලධාරීන් දෙදෙනා ඔබගේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සටහන් කරගෙන ආදරණීයයෙකු සැබවින්ම මෙම සමූහ මිනීවළේ තැන්පත් කර ඇති බව සනාථ කරන කුඩා ටෝකනයක ඡායාරූපය පරීක්ෂා කරයි. එය ව්‍යාපාරික කාඩ්පතක ප්‍රමාණයේ සුදු පැහැති එකකි - 'Keep ourself from / අපව වළක්වන්න / எம்மை பாதுகாப்போம் COVID-19’ යන වචන එහි මුද්‍රණය කර ඇත. කාඩ්පතෙහි මියගිය අයගේ නම සහ ඔවුන්ගේ 'සොහොන්' නැතිනම් අනුක්‍රමික අංකය දක්වා ඇත.

මෙම ලියාපදිංචිය අවසන් වූ පසු, එම නිලධාරීන් පවසන්නේ පවුලේ අයට දැන් මෙම භූමිය 'බැලිය' හැකි බවයි. සොහොන්වල එක් කුඩා කොටසක් දිගේ සෙලවෙන 'මායිමක්' සලකුණු කරන කහ පොලිස් පීත්ත පටියෙන් මෙපිට සිට ‘බලන්න’. මිනිසුන් මෙහි පැමිණෙන්නේ තම ආදරණීයයාගේ අවසන් ගිමන් හරින ස්ථානයට උපහාර දැක්වීමට බලාපොරොත්තුවෙන් වුවත් ඒ වෙනුවට කෙටි සොහොන් කොත් විසිරී ඇති මුළු සොහොන් බිම දෙසටම ඔවුන්ගේ යාච්ඤා සහ ශෝකය ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු වේ.

අප මෙම ලිපිය සඳහා පුද්ගලයින් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ කාලය වන විට ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. ෂිහබ්දීන් මෙම සුසාන භූමියේ පාලනය ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාවට ලබා දෙන ලෙස ද සුසාන භූමියේ වැඩ කිරීමට ස්වේච්ඡාවෙන් තම කාලය සහ ශ්‍රමය කැප කළ අයට ත්‍යාග හෝ වන්දි හෝ පිරිනැමීමට කටයුතු කරන ලෙස ද බලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබිණි.

ඇත්තටම අගෝස්තු 17 වැනි දින හමුදාව ප්‍රාදේශීය සභාව වෙත භූමිය බාර දී ඉවත්ව ගියහ. දැන් පවුලේ සාමාජිකයන්ට පූර්ව අවසරයකින් තොරව මෙම භූමියට පැමිණීමට හැකිය.

ෂිහබ්දීන්ගේ අනාගත සැලසුම් අතරට මියගිය අයගේ පවුල්වලට පැමිණ ඇවිද යා හැකි උද්‍යානයක් බවට මෙය හරවා එය වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක් බවට පත් කිරීම ඇතුළත් වේ. පාගමනින් යාම සඳහා මංපෙත් ද දීර්ඝ ගමනින් පසුව ටික වේලාවක් මිනිසුන්ට රැඳී සිටිය හැකි කුඩා ගොඩනැගිලි ද මෙම සැලසුමට අයත් ය.

මෙතෙක් රජයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණ ද මේ සඳහා යම් සහයෝගයක් රජයෙන් ලැබෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

image

මුහම්මද් සිද්දීක්ව අවසානයේ සමාදානයේ සතපනු ලැබුවේ 2021 මාර්තු 05 වන දින ඔහුගේ මරණයෙන් මාස දෙකකට හෝ ඊට වැඩි කාලයකට හෝ පසුවය. ඔහු 63 හැවිරිදි වියේ පසු වූ අතර, තමන්ගේ භූමදානය වන තෙක් බලා සිටි තවත් නව දෙනෙකුගෙන් එක් අයෙකි; සුසාන භූමිය ස්ථාපිත කළ පළමු දිනයේ දීම ඔවුන්ව භූමදානය කරන ලදි. මෙම මිය ගිය, නමුත් වළ නොදමා තදින් ශීතකරණයට ලක්ව සිටින අවිනිශ්චිත කාලපරිච්ඡේදය තුළ ඔහුගේ ජීවතුන් අතර සිටින ඥාතීන් බැහැදැකීමට පොලිසිය කිහිප වතාවක්ම පැමිණ තිබුණි. ඔහුගේ ආදාහන කටයුතු සඳහා පවුලේ අයගේ කැමැත්ත බලෙන් ලබා ගැනීමට ඔවුහු උත්සාහ කළහ. සිද්දීක්ව චිතකයෙන් බේරා ගැනීමට වාරණ නියෝගයක් ගැනීමට ඔවුන්ට සිදු විණි.

"මාමා නැති වුණේ අනිවාර්යයෙන් ආදාහනය කරන්න ඕනා කියන ප්‍රතිපත්තිය තියෙද්දි. එයාව වළදාන්න පුළුවන් වුණේ එයා නැති වෙලා දවස් 70 ක් ගියාට පස්සෙ," ඔහුගේ බෑනා වන මොහොමඩ් අම්ජාත් අපට පවසයි. ඒ දක්වා පවුලේ අය සිටියේ තවත් බලහත්කාරයෙන් ආදාහනය කිරීමක ආරංචියත් සමඟ තමන් අවදි වේද නැද්ද යන කනස්සල්ලෙනි.

මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් පැය 24 ක් ඇතුළත තම මිය ගිය ඥාතීන් භූමදානය කරන බැවින් සිද්දීක්ගේ දේහය භූමදාන කරන තෙක් ගත වූ මාස කෙතරම් පීඩාව ඇති කරවන සුළු වූවා ද යන්නත් ඔවුන් කිසිවෙකුට සුව නින්දක් ලබා ගත නොහැකි වූ ආකාරයත් අම්ජාත් සිහිපත් කරන ලදි.

"ඒ දවස් හරිම කටුක සහ කුරිරු දවස්.”

image

📎
මෙම ගවේෂණය තුළ ක්ෂේත්‍රයේ ලබා ගත් ඡායාරූප මෙන්ම SentinelHub සහ HERE maps හරහා ලබාගත් වෙනස් කරන ලද Copernicus Sentinel-2 චන්ද්‍රිකා දත්ත [2022] ඇතුළත් වේ [රූප ©2022 DigitalGlobe හෝ ©CNES 2015, Distribution Airbus DS; ©2015 DigitalGlobe]. මෙම රූප 2022 මාර්තු 01 වැනිදා සිට 2022 අගෝස්තු 28 වැනිදා දක්වා කාලය තුළ ලබාගන්නා ලදි. ඔවුන්ගේ සේවා නොමිලයේ ලබාදීම වෙනුවෙන් European Space Agency සහ HERE Technologies වෙත Watchdog අපගේ ස්තූතිය පළකිරීමට කැමැත්තෙමු. එසේම ඔට්ටමාවාඩි ප්‍රාදේශීය සභාවට සහ මෙම ලිපියේ දැක්වෙන සමහර ප්‍රධාන ක්ෂේත්‍ර ඡායාරූප ලබාදුන් අබ්දුල් බාසිර් සහ මොහොමඩ් ෆාරිස් වෙත ද අප ස්තූතිවන්ත වෙමු. මියගිය පුද්ගලයන්ගේ නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම සඳහා සංකේතනය කර ඇත.

ஓட்டமாவடி: இறந்தும் இல்லை நிம்மதி