සිංහල: #AskWatchdog - 08

සිංහල: #AskWatchdog - 08

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

@September 28, 2022

Read this article in English | සිංහල | தமிழ்

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹ ඇති නිසා දැන් අපට සල්ලි ලැබෙනවද?

අපගේ පිළිතුර:

නැහැ. මුදල් ලබා ගැනීම සඳහා IMF හි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුමත කරන තෙක් බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදු වේ.

සැප්තැම්බර් 01 වැනි දින ශ්‍රී ලංකා රජය සහ IMF නිවේදනය කළේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බවයි. EFF විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක් පමණ ලබා දීමට IMF අදහස් කරයි. මෙම මුදල් ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ගිවිසුම අනුමත කිරීමෙන් පසුව පමණි. එම මුදල වාරික වශයෙන් ගෙවනු ලබන අතර පළමු වාරිකය IMF හි විධායක මණ්ඩලය විසින් වැඩසටහන අනුමත කළ වහාම ලබා දේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට මෙම ගිවිසුම අනුමත කිරීමට සහ ඒ හරහා මුදල් මුදා හැරීමට කොපමණ කාලයක් ගතවේද යන්න මේ මොහොතේ එතරම් පැහැදිලි නැත. "මූල්‍ය සහතික" ලෙස හඳුන්වන ණය සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ණය හිමියන් දක්වන කැමැත්ත ද ඇතුළුව සාධක ගණනාවක් මත මෙය රඳා පවතී. විශේෂයෙන් ගිවිසුම අනුමත කරන්නේ ද යන්න තීරණය කිරීමට පෙර IMF විධායක මණ්ඩලය විසින් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම යටතේ දැක්වෙන පූර්ව ක්‍රියාමාර්ග සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රවේශමෙන් විශ්ලේෂණය කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන නිල වශයෙන් ආරම්භ වන්නේ විධායක මණ්ඩලය ගිවිසුම අනුමත කළ විටය.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම යන්නෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා රජය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රමාණවත් චේතනාවක් පෙන්නුම් කර ඇති බවත් ඒ සඳහා පුළුල් සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් IMF කාර්ය මණ්ඩලය විශ්වාස කරන බවයි. ශ්‍රී ලංකාවේ ණය හිමියන් ප්‍රමාණවත් ණය සහන ලබා දෙන්නේ නම්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ශක්තිමත් බව ඇති කරගැනීමටත්, සියල්ලන්ටම ප්‍රයෝජනවත් වන සංවර්ධනයක් ළඟා කරගැනීමටත්, මධ්‍ය කාලීනව රටේ ණය මට්ටම තිරසාර කරගැනීමටත් සැලැස්මේ ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහසයි. කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම බොහෝ දුරට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජයේ කැපවීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ, උද්ධමනය, සංචිත රැස් කරගැනීම, අයවැය හිඟය සහ ණය මට්ටම් සම්බන්ධයෙන් එය පිහිටුවා ඇති ඉලක්ක කෙරෙහි ය.

ශ්‍රී ලංකාව ස්වකීය මූල්‍ය ප්‍රයත්නයන් සහ ණය සහන හරහා සපුරාලිය යුතු ණය තිරසාර බවට අදාළ ඉලක්ක මාලාවක් ද එකඟ වූ වැඩසටහනට ඇතුළත් වේ. මෙම ණය ඉලක්කවලට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ණය බර අඩු කර ගැනීම අවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවට මධ්‍ය කාලීනව ණය තිරසාර බව ළඟා කරගත හැකි බව පෙන්වීමට අත්‍යවශ්‍ය වේ. ණය ආපසු ගෙවීමේ බර අඩු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ ණයහිමියන් හිඟ ණයවලින් කොටසක් කපා හැරීමට, පොලී ගෙවීම් අඩු කිරීමට හෝ ලබාගත් ණය ආපසු ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීමට එකඟ විය යුතුය. ණය සහන ලබාදෙන ක්‍රම ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නේ මේවායි. මෙම ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් හෝ හරහා ප්‍රමාණවත් ණය සහන ලබාදීමට ණයහිමියන් එකඟ නොවුනහොත් ණය තිරසාරභාවය සාක්ෂාත් කරගත නොහැක. එබැවින්, ශ්‍රී ලංකාවේ ණයහිමියන් ණය සහන ලබාදීමට, එනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුනහොත් IMF විධායක මණ්ඩලය මුදල් ලබා නොදෙනු ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව එකඟතාවයකට පැමිණීමට ණය හිමියන් කැමති කරගැනීමට කොපමණ කාලයක් ගතවේද? ඇත්තටම අපි එය දන්නේ නැහැ; ඒ සඳහා මාස 03ක්, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් හෝ ගත විය හැක. උදාහරණයක් ලෙස, සැම්බියාවට ඒ සඳහා ණය පැහැර හැරීමෙන් වසරකට වැඩි කාලයක් ගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස සැම්බියාවට 2021 දෙසැම්බර් මස ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට මාස 09 ක් පමණම ගත විය. මෙයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ අගෝස්තු 31 වැනි දා ය. මෙයට බොහෝ දුරට හේතු වූයේ සැම්බියාවේ ණය හිමියන් එකඟතාවයකට එළඹුණේ ජූලි 30 වැනි දා පමණක් වීමයි.

මෑත කාලයේ පැනවූ ආනයන සීමා කිරීම් මොනවාද, ඒවා මට බලපාන්නේ කෙසේද?

අපගේ පිළිතුර:

විදේශ මුදල් රටින් පිටවීම අවම කිරීම සඳහා පසුගිය මාසය තුළ රජය ආනයන සීමා කිහිපයක් පැනවීය.

අගෝස්තු 22 වැනි දා මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කළේ අගෝස්තු 23 වැනි දා සිට භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තහනම් බව දක්වමිනි. මෙයට ආහාර ද්‍රව්‍ය ගණනාවක්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදුලි උපකරණ සහ සමහර අමුද්‍රව්‍ය පවා ඇතුළත් විය: බොහෝ ව්‍යාපාර මෙම පියවරට විරුද්ධ වූයේ එය ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපානු ඇති බව කියමිනි.

මෙම විවේචනයට පිළිතුරු ලෙස මුදල් අමාත්‍යාංශය භාණ්ඩ 159 ක් සඳහා වූ ආනයන තහනම ඉවත් කරමින් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදි; උදාහරණ ලෙස ලැප්ටොප්, පරිගණක උපකරණ, මහන මැෂින්, ශීතකරණ සහ ටයිල් ආදිය දැක්විය හැකිය.

ආනයන අපනයන පාලකගේ අනුමැතිය ඇතිව විශේෂිත අරමුණු සඳහා වෙනත් තහනම් භාණ්ඩ ආනයනය කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් අවසර ලබා දී ඇත. පසුගිය සැප්තැම්බර් 09 වැනි දා නිකුත් කළ ගැසට් පත්‍රය හරහා භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කළ ද රජය විසින් සින්ක් සහ ස්කොටින් පෑන් වැනි පිඟන් මැටි නාන කාමර උපාංග ආනයනය කිරීම තහනම් කර ඇත.

මේ වන විට, යෝගට් සහ චොකලට් වැනි කෙටි කෑම වර්ග, නානකාමර උපාංග ඇතුළු සමහර ඉදිකිරීම් ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ සුවඳ විලවුන්, තොරතුරු තාක්ෂණ උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු අයිතම 150 ක් පමණ ආනයනය කිරීම තහනම් කර ඇත. එතකොට මේකෙන් ඇති වන ප්‍රතිඵල මොනවද?

භාණ්ඩ ආනයනය කිරීම තහනම් කළ විට එය මිලදී ගැනීමට ඇති භාණ්ඩවල හිඟයක් ඇති කරයි. මේ හේතුවෙන් දැනටමත් ආනයනය කර ඇති භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම මෙන්ම ආනයනය තහනම් කර ඇති භාණ්ඩ වෙනුවට ඇති ආසන්න ආදේශකවල මිල ඉහළ යාම සිදුවේ. නිදසුනක් වශයෙන්, ආනයනික සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ අභරණ සැපයුම අතිශයින් සීමිත වනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩවල මිල පවතිනවාටත් වඩා ඉහළ යයි.

නිෂ්පාදන ක්‍රියාවලියක දී එවැනි අයිතම භාවිත කරන බැවින් මෙය අතරමැදි භාණ්ඩ හෝ ප්‍රාග්ධන භාණ්ඩ හෝ සඳහා වෙනස් ලෙස බලපායි. නිදසුනක් වශයෙන්, ඉදිකිරීම් භාණ්ඩ ආනයනය තහනම් කිරීම ඉදිකිරීම් පිරිවැය ඝාතීය ලෙස වැඩි කරනවා පමණක් නොව, සමහර ඉදිකිරීම් කටයුතු නතර කිරීම ද සිදු කරනු ඇත.

තවද, සමහර යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම තවමත් තහනම් කර ඇති නමුත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය මත ඒවා රට තුළට ගෙන ඒමට හැකිය. මෙය අත්‍යාවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සංකීර්ණ හා ප්‍රමාද කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය ප්‍රමාද වේ.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර, අපට පෞද්ගලික පණිවුඩයක් යොමු කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய

📌
தமிழில் #AskWatchdog 08