සිංහල: #AskWatchDog - 03

සිංහල: #AskWatchDog - 03

@June 9, 2022

Read this article in English | සිංහල| தமிழ்

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

නව බදු ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

අපේ පිළිතුර:

මුදල් අමාත්‍යාංශය විසින් බදු ආදායම වැඩි කිරීමේ අරමුණ ඇතිව බදු වෙනස්කම් මාලාවක් පසුගිය සතියේ දී හඳුන්වාදෙන ලදි. එම බදු වෙනස්කම් අතරට එකතු කළ අගය මත බදු (Value Added Tax) අනුපාතය 8% සිට 12% දක්වා වැඩි කිරීම, සම්මත සංස්ථාපිත ආදායම් බදු (Corporate Income Tax) අනුපාතය 30% දක්වා සහ සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 15% දක්වා වැඩි කිරීම, උපයන විට ගෙවන බදු (Pay As You Earn - PAYE) නැවත හඳුන්වාදීම, පුද්ගල ආදායම් බදු (Personal Income Tax) වැඩි කිරීම, රඳවා තබා ගැනීමේ බද්ද (Withholding Tax) නැවත හඳුන්වාදීම සහ තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන බදු වැඩි කිරීම ඇතුළත් වේ.

අපි මේවා එකින් එක සලකා බලමු.

  1. එකතු කළ අගය මත බදු (VAT) වෙනස් කිරීම් අතරට වැඩි කළ අනුපාත සහ VAT ගෙවිය යුතු සීමාව කාර්තුවකට රු. මිලියන 75 සිට කාර්තුවකට රු. මිලියන 30 දක්වා අඩු කිරීම අයත් වේ. ගෙවිය යුතු සීමාව අඩු කිරීම යනු තවත් ව්‍යාපාරවලට VAT ගෙවීමට සිදුවීම හරහා ව්‍යාපාරයේ හෙළිදරව් කරන ආදායම වැඩි වීමයි. මීට පෙර VAT නොගෙවූ ව්‍යාපාර එම බද්ද පාරිභෝගිකයා මත පැටවීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යනු ඇත. ඔබ ජීවත්වන ප්‍රදේශයේ බේකරිය ගැන සිතන්න - මෙම බේකරිය කාර්තුවකට රු. මිලියන 35 ක් පමණ විකුණුම් සිදු කළ බව උපකල්පනය කරමු. මීට පෙර ඔවුන්ට VAT ගෙවීමට සිදු නොවූ නමුදු, දැන් ඔවුන්ගේ විකුණුම් ආදායම VAT සීමාව ඉක්මවන බැවින් දැන් ඔවුන්ට වැට් බද්ද පැනවීමට සිදුවේ. එයින් පැවසෙන්නේ එම බේකරියේ විකුණන භාණ්ඩවල මිල ආසන්න වශයෙන් 12% කින් වැඩි වන බවයි. කෙසේ වෙතත්, සහල්, පරිප්පු, ළූණු, සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක මිල කෙරෙහි VAT වෙනස් වීම සැලකිය යුතු ලෙස බලපාන්නේ නැත. එසේ වන්නේ එවැනි භාණ්ඩ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට  (Special Commodity Levy) යටත් වන නිසායි.
  2. ඔබ මසකට රු. 150,000 කට වඩා අදායමක් උපයනවා නම් PAYE නැවත හඳුන්වා දීම ඔබේ පඩියෙන් අදායම් බද්දක් අඩු කරගැනීමට හේතු වේ; මෙම බදු ක්‍රමයෙන් ඉහළ යන ලෙස පනවනු ලැබේ. පළමු රු. 100,000, 04%ක බද්දකට යටත් වන අතර මෙය ඉන් පසුව ඔබ උපයන සෑම රු. 100,000කටම වැඩි වෙන අනුපාතයක් යටතේ 32% දක්වා ඉහළ යයි. PAYE නැවත පනවන ආකාරය පිළිබඳව තහවුරු කළ පැහැදිලි කිරීමක් නොමැති වුවත් පෙර තිබූ PAYE ගෙවීමේ ක්‍රමය අනුව රුපියල් 250,000ක අදායමක් ලබන පුද්ගලයෙකුගේ අදායමෙන් PAYE ගෙවිය යුතු වන්නේ රු. 100,000ක් සඳහා පමණි. ඉන් අදහස් වන්නේ, PAYE ලෙස අඩු කරනු ලබන්නේ රු. 4000ක් පමණක් බවයි. තවද, උපරිම බදු ප්‍රතිශතය වැඩි කළ නිසා දළ වශයෙන් රුපියල් 850,000කට වඩා වැඩි මාසික වැටුපක් ලබන්නන් 32%ක ප්‍රතිශතයකට යටත්ව බදු ගෙවනු ඇත. මින් පෙර එම ප්‍රතිශතය වුයේ 18%කි. මෙම වෙනස්කම් ඔක්තෝම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
  3. රඳවා තබා ගැනීමේ බද්ද හේතුවෙන් පොලී ආදායම මත 05%ක අඩු කිරීමක් බලපැවැත්වෙනු ඇත. උදාහරණයක් ලෙස, ඔබ ස්ථාවර තැන්පතුවක් සඳහා රු. 25,000ක පොලී අදායමක් ලබන්නේ නම් රු. 2,500ක් කපා ගනු ලබන අතර ඔබට ලැබෙන්නේ රු. 22,500ක් පමණි. මෙම බද්ද අඩුකරන්නේ තැන්පතුවලින් නොවන බවත්, එය පොලියෙන් පමණක් අඩු කරන බවත් දැක්වීම වැදගත්ය. තවද, උපදේශන සේවා සඳහා ද රඳවා තබා ගැනීමේ බද්ද පනවා ඇත; ගෙවීම සිදු කරන විට උපදේශක ගාස්තුවෙන් 05%ක් අඩු කරනු ලැබේ. මසකට රුපියල් 100,000ට වැඩි කුලී ආදායම් මත ද රඳවා තබා ගැනීමේ බද්ද පනවනු ලැබේ. මෙම සියලු අවස්ථා වලදී, ගෙවීම කරන අය විසින් ගෙවීමෙන් 05%ක බද්දක් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (Inland Revenue Department) ගෙවනු ඇත.
  4. මෙම ආදායම් බදු වෙනස්කම් සමඟ ඇතැම් ආනයන සඳහා අධිභාරයක් ද (surcharge) පනවා ඇත. පනවා ඇති අධිභාරය අනුව දැනට පවතින රේගු ආනයන තීරු බදු වැඩි කෙරේ. උදාහරණයක් ලෙස, අධිභාරය 100%ක් නම්, පවතින රේගු තීරු බදු 100%කින් වැඩි වේ. අධිභාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව රෙදි සෝදන යන්ත්‍ර සඳහා 100%ක අධිභාරයක් පනවා ඇත. රෙදි සෝදන යන්ත්‍ර සඳහා දැනට පවතින රේගු තීරු බද්ද 15%ක් වන අතර අධිභාරය වැඩිකිරීමත් සමඟ එය රෙදි සෝදන යන්ත්‍රයේ ගොඩබෑ පසු මිලෙන් 30%ක් බවට පත්වේ. බොහෝ අවස්ථාවල දී මෙය මිල දෙගුණයක් වීමට හේතු නොවේ. උදාහරණයක් ලෙස රෙදි සෝදන යන්ත්‍ර දෙස නැවත බලමු. ගොඩබෑ පසු මිල රු. 100,000ක් නම් මීට පෙර රේගු තීරු බද්ද රු. 15,000ක් වූ අතර, දැන් එය මත බද්ද රු. 30,000කි. වායු සමීකරණ යන්ත්‍ර, රැවුල කපන යන්ත්‍ර, රික්ත ශෝධක (vacuum cleaners), චීස් සහ ආනයනික ආහාර ද්‍රව්‍ය ගණනාවක් ඇතුළු භාණ්ඩ රැසකට එවැනි අධිභාර පනවා ඇත. සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න. ඇතැම් ආනයනික ආහාර වර්ගවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද වැඩි කළ නිසා මෙම භාණ්ඩවල මිල ද ඉහළ යනු ඇත. එම ලැයිස්තුවට ඇපල්, මිදි, දොඩම්, රට ඉඳි සහ තවත් දේ ඇතුළත් වේ.

මැයි 09 ප්‍රහාරයෙන් පසු සිදුවූයේ කුමක්ද සහ ඒවාට අත්අඩංගුවට ගත්තේ කවුද?

අපේ පිළිතුර:

මැයි 09 වෙනිදා ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇත. අපේ පෙර විශ්ලේෂණය හරහා අපි එයට සම්බන්ධ වූ ප්‍රසිද්ධ පුද්ගලයින් හඳුනා ගත්තෙමු.

මැයි 16 වෙනිදා නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේ ඔවුන් සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇත්නම් 22 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙසයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ සහ ඩෑන් ප්‍රියසාද් මෙම පිරිසට ඇතුළත්.

මැයි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව ජූනි 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහින්ද කහඳගමගේව අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 25 වැනිදා ය. අත්අඩංගුවට ගත් දිනය පැහැදිලි නොමැති වුව ද දිලිප් ප්‍රනාන්දුව ද අත්අඩංගුවට ගෙන ජුනි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. කහඳගමගේ සහ ප්‍රනාන්දු යන දෙදෙනාම ජුනි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ජුනි 02 වැනිදා අධිකරණය විසින් නියෝග කරන ලදි. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මැයි 31 වැනිදා අත්අඩංගුවට ගෙන ජුනි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. සමන් ලාල්, මංජුල ප්‍රසන්න සහ ඩෑන් ප්‍රියසාද් යන අය මැයි 16 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජුනි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

ජූනි 07 වැනිදා වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබියදීත් ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. කෙසේ වෙතත්, ජුනි 08 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදි. සංජීව එදිරිමාන්නව සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ඇත. ඔහුව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් මාරු කරන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් දී ඇත.

මෙම ලිපිය ලියන මොහොත වන විට ලැබී තිබූ වාර්තාවලට අනුව රක්ෂිත බන්ධනාගාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු 12 දෙනෙකුට ජුනි 08 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කොට තිබුණි.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපිව ටැග් කර ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய