සිංහල: #AskWatchdog - 05

සිංහල: #AskWatchdog - 05

@July 7, 2022

Read this article in English | සිංහල| தமிழ்

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

1. සජීවීව විකාශනය කිරීම ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුවක් විය හැකි ද?

ජූනි 20 වැනි දා ගෝඨාගෝගම අසල දී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ආකාරය පටිගත කරමින් සිටිය දී තරුණ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාරව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. බණ්ඩාරට අනුව, ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ අයුතු ජනරාශිය සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් බව පොලිසිය පවසා ඇත. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදා හැර තිබේ.

පුද්ගලයෙකු පොලිසියේ රාජකාරියට බාධා කළහොත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතියෙන් බලය ලැබී ඇත. ස්මාර්ට්ෆෝන්වල ආගමනයට පෙර හඳුන්වා දුන් නීති බැවින් සජීවීව විකාශනය කිරීම හෝ පටිගත කිරීම හෝ සම්බන්ධයෙන් නිශ්චිත සඳහනක් නොමැත. අත්අඩංගුවට ගත් පසුව චූදිතයාව පැය 24 ක් ඇතුළත මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ යුතුය (ව්‍යතිරේක කිහිපයක් ඇත). පොලිස් රාජකාරිවලට යම් බාධාවක් ඇති කළ බව හෝ එම පුද්ගලයා අයුතු ජනරශියකට සහභාගී වූ බව හෝ පෙන්වීමට සාක්ෂි නොමැති හෝ පවතින සාක්ෂි ප්‍රමාණවත් නොමැති නම් හෝ එම පුද්ගලයා නිදහස් කළ යුතු අතර එරෙහිව පැවරුණු නඩුව නිෂ්ප්‍රභ කළ යුතුය.

යම් සාක්ෂි තිබේ නම්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර පරීක්‍ෂණයට අවසර දීමට හෝ වහාම නඩු විභාගයට දින නියම කිරීමට හෝ හැකිය. ඉදිරිපත් කරන ලද කරුණු අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දෙනවා ද නැද්ද යන්න ද තීරණය කරනු ලැබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතුව/හේතු පිළිබඳව එම පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය බැඳී සිටී: මෙය පුද්ගලයාගේ අයිතිවාසිකම්වලින් එකකි (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය). පොලිස් ස්ථානයේ සිටින විට දී පවා නීතිඥයෙකු විසින් නියෝජනය කරනු ලැබීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය නීතිය මගින් සුරක්ෂිත කර ඇත. එවැනි ඉල්ලීමක් කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

මෙහි නීතිමය ගැටළු පිළිබඳ පැහැදිලි කිරීම් නීතිඥ එර්මිසා ටෙගාල් විසින් සපයන ලදි.

2. අපි චීනයට හරියටම කීයක් ණයයි ද?

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පිළිබඳව බොහෝ විට වැරදි වාර්තා කිරීම් සිදුවේ. ශ්‍රී ලංකාව චීන ණය හිමියන්ට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 10% ක් බව සඳහන් වන වාර්තා තිබේ. තවත් වාර්තාවක සඳහන් වන්නේ එය 15% ක් බව යි. කෙසේ වුවත්, අපගේ විශ්ලේෂණවලින් පෙනී යන්නේ 2021 අවසන් වන විට චීන ණය හිමියන්ට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය රජයේ විදේශ ණයවලින් 20% ක් වූ බවයි.

👉🏽
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (External Resource Department) දත්තවලට අනුව 2021 අග වන විට චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 ක් වූ අතර රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35.8 කි.

2021 අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ ණය ප්‍රමාණය

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රමාණය අවතක්සේරු කිරීමට සාමාන්‍ය හේතුව වන්නේ චීනයේ EXIM බැංකුව විසින් ලබා දුන් සමහර ණය බැහැර කර තිබීම යි. ඒවා රාජ්‍ය ව්‍යවසාය (State-Owned Enterprises) කිහිපයකින් ලබාගත් ණය ලෙස සටහන් කර ඇත. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති මුදල්වලට රාජ්‍ය ව්‍යවසාය විසින් ලබාගත් ණය ඇතුළත් නොවේ. 2021 අවසානය වන විට, දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක් පමණ වන SOE ණය, මධ්‍යම රජයේ ණය බරට ඇතුළත් කර නොතිබිණි. මෙම SOE අතරට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය ඇතුළත් වේ. හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය, රාජ්‍ය ව්‍යවසායකයන්ගේ ණය ලෙස සටහන් කර ඇති අතර රජයේ විදේශ ණයවලට ඇතුළත් නොවේ.

තවද, 2018 වසරේ සිට, ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) විදේශ විනිමය කාලීන ණය පහසුකම් (Foreign Currency Term Financing) ලබාගෙන ඇති අතර 2021 අවසානය වන විට චීන සංවර්ධන බැංකුව වෙත ගෙවිය යුතු FCTF ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් විය. විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ වර්ගීකරණයේ මෙම ණය ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළ ණය (market borrowings) ලෙස වර්ගීකරණය කර ඇත. එබැවින්, රාජ්‍ය ව්‍යවසාය විසින් ලබාගත් ණය සහ චීන සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ණය ඇතුළත් කළ පසු, චීන ණය හිමියන්ට ශ්‍රී ලංකාව ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 කි.

බැඳුම්කර හිමියන් විසින් රටකට එරෙහිව නඩු පැවරූ විට කුමක් සිදුවේ ද?

කෙටි පිළිතුර: අපිට උසාවි යන්න සිදු වෙනවා යන කාරණය හැර යමක් අපි ඇත්තටම දන්නේ නැහැ.

නමුත් අපට නඩු පවරන තත්ත්වයට අප පත් වූයේ කෙසේද යන්න පිළිබඳව පසුබිම් තොරතුරු ටිකක් මෙහි දක්වමු.

ජූලි 25 වන දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයේ (International Sovereign Bond) ඇමෙරිකානු ඩොලර් මිලියන 257 සම්පූර්ණයෙන් ආපසු ගෙවන ලෙස ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි Hamilton Reserve Bank Ltd විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇත. මෙම ස්වෛරීත්ව බැඳුම්කරය (US85227SAK24) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජුනි මස නිකුත් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක බැඳුම්කරයකි. මෙම නඩුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ගොනු කර ඇත්තේ මුළු ණය මුදලම සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලමිනි.

කෙසේ වෙතත්, අප්‍රේල් 12 වන දින තමන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදහස් කරමින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළුව බොහෝ විදේශ ණය ගෙවීම පැහැර හරින බව ශ්‍රී ලංකාව නිල වශයෙන් නිවේදනය කරන ලදි. ජුනි මාසයේ දී, රජය විසින් ණය හිමියන් (රටවල් මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්) සමග සාකච්ඡා කිරීම සඳහා M/s. Clifford Chance LLP සහ M/s. Lazard, France පිළිවෙලින් නීතිමය සහ මූල්‍ය උපදේශකයින් ලෙස පත් කරන ලදි.

දැනට ශ්‍රී ලංකාව ශුන්‍ය තරම් වන විදේශ මුදල් සංචිත මත ක්‍රියාත්මක වේ. එමනිසා, විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවක් රටට නැත. සාමාන්‍යයෙන්, බැඳුම්කර හිමියන් ඇතුළු ණය හිමියන් ගෙවීම පැහැර හරින ලද රට සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සමථයකට පැමිණේ. මෙයින් අදහස් කරන්නේ, එවැනි රටවලට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබා දෙන බවයි. ජපානය ඇතුළු Paris Club එකට අයත් රටවලින් ලබා ගන්නා ද්විපාර්ශ්වික ණය Paris Club හි සාමාජිකයින්ගේ පොදු එකඟතාවය සහිතව ප්‍රතිව්‍යුහගත කළ හැකිය. චීනය, ඉන්දියාව වැනි Paris Club එකට අයත් නොවන රටවලින් ලබාගත් ණය තනි තනි ණය හිමියන්ගේ කැමැත්ත ඇතිව ප්‍රතිව්‍යුහගත කළ හැකිය (උදා: මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ණය ලබාගෙන ඇත්තේ China EXIM බැංකුවෙන් වන අතර මෙම ණය එම ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය සමඟ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා China EXIM බැංකුවේ අනුමැතිය අවශ්‍ය වේ). කෙසේ වෙතත්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමිකරුවන් මීට වඩා වෙනස් ලෙස ක්‍රියා කරයි.

2021 අවසන් වන විට හිඟ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියනවලින්
2021 අවසන් වන විට හිඟ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියනවලින්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන කල ඒවා ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන විසින් මිල දී ගන්නා ලදි. සාමාන්‍යයෙන්, එක් බැංකුවක් හෝ එක් ආයතනයක් හෝ සම්පූර්ණ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය (ISB) මිල දී ගන්නේ නැත. මින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ISB නිකුත් කළහොත් එක් බැංකුවක් මිලියන 250 ක් සහ තවත් බැංකුවක් මිලියන 200 ක් ආදී වශයෙන් මිල දී ගන්නා බවයි. ඉන්පසුව එවැනි බැංකු සහ මූල්‍ය ආයතන විසින් මේවා වෙනත් ආයෝජකයෙකුට හෝ බැංකුවකට හෝ නැවත විකුණනනු ලැබේ. එබැවින්, එක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් බහුවිධ පුද්ගලයන්ට/ආයතනවලට අයත් වන අතර එමනිසා ISB ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කර හිමියන්ගෙන් බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වේ.

සාමූහික ක්‍රියා වගන්ති (Collective Action Clauses) තීරණාත්මක වන්නේ මෙහිදීය. මෙම වගන්ති හරහා ණය හිමියන්ගෙන් 'සුපිරි බහුතරයකට' ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ ලබා දේ. ‘සුපිරි බහුතරය' යන යෙදුමට තැනින් තැනට වෙනස් තේරුම් ඇති අතර එහි තේරුම අදාළ ස්වෛරීත්ව බැඳුම්කරය මත රඳා පවතී. බැඳුම්කර ගිවිසුම/ගිවිසුම් මුළු බැඳුම්කර වටිනාකමින් 75% ක ප්‍රමාණයක් සුපිරි බහුතරය ලෙස සලකනු ලබන්නේ නම්, බැඳුම්කර ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වන්නේ බැඳුම්කරයේ/බැඳුම්කරවල වටිනාකමින් 75% කට වඩා වැඩි ප්‍රමාණයක හිමියන්ගේ කැමැත්ත පමණි. බැඳුම්කර හිමියන්ගෙන් 25% ක් ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ආපසු ගෙවීම ඉල්ලා සිටිය ද, සාමූහික ක්‍රියා වගන්ති එම ඉල්ලීම අභිබවා යයි. සමහර විට සාමූහික ක්‍රියා වගන්ති තනි පුද්ගල බැඳුම්කර සඳහා අදාළ වන අතර තවත් විටෙක එය සියලු හිඟ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා අදාළ වේ.

මෙම මූලධර්මය ශ්‍රී ලංකාවේ ISB සඳහා ද අදාළ වේ. ජූනි 21 වැනි දින, ශ්‍රී ලංකාවේ ISB හිමි වත්කම් කළමනාකරුවන් 30 දෙනෙකු නිවේදනය කළේ ISB ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් ණය හිමියන්ගේ සමූහයක් ආරම්භ කළ බවයි. තමන් සතුව එක් එක් ISB හි කුමන ප්‍රතිශතයක් තිබේ දැයි සමූහය මෙතෙක් ප්‍රකාශ කර නොමැත. මෙම ණය හිමියන්ගේ සමූහය, බැඳුම්කර හිමිකම් සාමූහික ක්‍රියා වගන්තිවල අර්ථ දක්වා ඇති පරිදි සුපිරි බහුතරයක් සාදන්නේ නම් හා මෙම ISBවල බැඳුම්කර හිමියන්ගෙන් 'සුපිරි බහුතරයක්' (ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 12.5 ක් වටිනා ISBs ඇත) බැඳුම්කර ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වන්නේ නම්, එය අනෙකුත් ණය හිමියන් විසින් සම්පූර්ණ ආපසු ගෙවීමක් ඉල්ලා කරන නීතිමය ක්‍රියාමාර්ග අවලංගු කිරීමට හේතු වනු ඇත.

කෙසේ වෙතත්, සාමූහික ක්‍රියා වගන්ති අදාළ වන්නේ තනි බැඳුම්කරයකට පමණක් නම් එය ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් කරයි; ඒ එක් බැඳුම්කර හිමියෙකුට හෝ බැඳුම්කර හිමියන් කිහිපදෙනෙකුට හෝ එවැනි එයට පමණක් අදාළ වන සාමූහික ක්‍රියා වගන්තියක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයකට අදාළ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා නතර කළ හැකි බැවිනි. Watchdog හට 2022 ජූලි මාසයේ කල් පිරෙන ISB යට අදාළ සාමූහික ක්‍රියා වගන්ති පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැත. එබැවින්, ජූනි 21 වැනි දින ගොනු කරන ලද නඩුව පිළිබඳව අදහස් දැක්වීමට අපට නොහැක. කෙසේවෙතත්, Bloomberg හි පළ වූ වාර්තාවලින් පැවසෙන්නේ 2015 ට පෙර නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල, ප්‍රතිව්‍යුහගත කිරීමකට බැඳුම්කර හිමියන්ගෙන් 75% කට වඩා එකඟ වීමට අවශ්‍ය බව කියැවෙන එයට පමණක් අදාළ වන සාමූහික ක්‍රියා වගන්ති ඇතුළත් බවයි. මෙයින් අදහස් කරන්නේ, යම් ආයෝජකයෙකුට බැඳුම්කරයේ වටිනාකමින් 25% කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි නම්, එවැනි ආයෝජකයෙකුට එම බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම නවත්වා සම්පූර්ණ ගෙවීමක් ඉල්ලා සිටීමේ හැකියාව ඇති බවයි. ශ්‍රී ලංකාවට එරෙහිව නඩුව ගොනු කළ හැමිල්ටන් බැංකුව සතුව ජූලි මාසයේ දී කල් පිරෙන ISB හි ඇමෙරිකානු ඩොලර් මිලියන 257 ක් ඇත. එය බැඳුම්කරයේ වටිනාකමින් 25% කට වඩා වැඩි වන අතර මෙම බැඳුම්කරයෙහි එයට පමණක් අදාළ වන සාමූහික ක්‍රියා වගන්තියක් තිබේ නම් උසාවියට නඩුව ඉදිරියට ගෙන යා හැක.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய