සිංහල: #AskWatchdog - 02

සිංහල: #AskWatchdog - 02

@June 1, 2022

Read this article in English | සිංහල | தமிழ்

image

කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම්

පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරියේ පළමු වතාවට ද?

අපේ පිළිතුර:

ඔව්. ශ්‍රී ලංකා රජය විසින්, 2022 අප්‍රේල් 12 වැනි දින, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන වෙත සිදු කරන ණය ආපසු ගෙවීම් හැර අනෙකුත් විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවන ලදි. නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද පළමු ණය අත්හිටුවීම මෙය වන අතර එය සාමාන්‍යයෙන් රටේ පළමු ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම ලෙස හඳුන්වයි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (International Sovereign Bond) සඳහා පොලිය නියමිත දින ගෙවීමට (මෙය බොහෝ විට කූපන් ගෙවීම, coupon payment, ලෙස හැඳින්වේ) රට අපොහොසත් වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම පිළිබඳව පසුගිය සතිය හෝ දෙක හෝ කාලය තුළ නැවතත් ගෝලීය සහ දේශීය සිරස්තල මතු විය. ණය ආපසු ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය මැයි 18 වන දිනෙන් අවසන් විය. කූපන් ගෙවීම සිදු කිරීමට ශ්‍රී ලංකාව අසමත් වීම පිළිබිඹු කිරීම සඳහා, සම්මත භාවිතයක් ලෙස, Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් සීමා සහිත පැහැර හැරීම (Restrictive Default) දක්වා පහත හෙලන ලදි.

මෙම සිදුවීම්වලට සමගාමීව ඇතැම් මාධ්‍ය ඒ බව වාර්තා කළේ ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ පළමු වතාවට ණය ආපසු ගෙවීම පැහැර හැරියේ මැයි මාසයේ දී බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී තමන් ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ කූපන් ගෙවීම සිදු කිරීමට අපොහොසත් වීම ඇත්තටම සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන ලදි; ඒ ශ්‍රී ලංකාව ඒ වනවිටත් සිය ස්වෛරී පැහැර හැරීම පිළිබඳව නිවේදනය කර තිබූ නිසායි.

සමහර මාධ්‍ය මෙය අර්ථකථනය කළේ ශ්‍රී ලංකාව මැයි 18 වන දා දැඩි පැහැර හැරීමකට' මුහුණ දුන් ලෙසට යි. 'දැඩි පැහැර හැරීම' යන යෙදුමට විවිධ නිර්වචන ඇති අතර, ආර්ථික විද්‍යාවට සම්බන්ධ පොත පත දැඩි පැහැර හැරීම යන යෙදුම භාවිත කරන්නේ ණයගැතියා, ණයහිමියන් සමඟ සද්භාවයෙන් යුතුව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තම අභිප්‍රාය ශ්‍රී ලංකාව පැහැදිලිවම පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මූලික පියවරවලින් එකක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් තෝරාගැනීම ද සිදු කරන ලදි.

එබැවින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම 'දැඩි පැහැර හැරීමක්' ලෙස වර්ගීකරණය කළ නොහැක.

විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් මොනවා ද?

අපේ පිළිතුර:

විරෝධතා දැක්වීමේ අයිතිය මූලික අයිතිවාසිකම්වලින් එකක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙය පැහැදිලිව සඳහන් කර නොමැති වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව විරෝධතා දැක්වීමේ අයිතිය සඳහා පදනම සකස් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ), (ආ) සහ (ඇ) අනුව්‍යවස්ථා අනුව, සෑම පුරවැසියෙකුටම (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට; සහ (ඇ) සමාගමයේ නිදහසට හිමිකම ඇත්තේ ය.

කෙසේ වෙතත්, මෙම අයිතිවාසිකම්, රාජ්‍ය ආරක්ෂාව, රටේ යථා පැවැත්ම, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ජාතික ආර්ථිකය, වාර්ගික හා ආගමික සහයෝගීතාව, වරදකට පෙළඹවීම, අපහාසය, අධිකරණයට අපහාස කිරීම යනාදී යම් සීමාවන්ට යටත් වේ (15 වන ව්‍යවස්ථාව).

උද්ඝෝෂණයක්, ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් හෝ මහජන සාමයට බාධාවක් හෝ ඇති කරන්නේ නම්, එවැනි රැස්වීම් විසුරුවා හැරීමට සාධාරණ බලයක් යෙදවීමටත් අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමටත් පොලිසියට බලය ඇත.

තවද, විරෝධතාව/උද්ඝෝෂණය අතරතුරදී, පොදු දේපළවලට හානි සිදුවුවහොත්, එය 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ ද වෙනම වරදක් වේ. ඔවුන්ගේ මතය අනුව, නීති විරෝධී ජනරාශියක යෙදෙන සහ/හෝ පොදු දේපළවලට හානි කරන අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබුණ ද, අත්අඩංගුවට ගත් පාර්ශවයන් අත්අඩංගුවට ගෙන පැය 24 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය (කෙසේ වෙතත්, මෙම කොන්දේසිය අදාළ නොවන අවස්ථා ද පවතී).

සෑම පුද්ගලයෙකුටම අත්අඩංගුවට ගැනීමට හේතු දැනගැනීමට සහ නීතීඥවරයෙකු හරහා පෙනී සිටීමට අයිතියක් ඇති අතර (13 වන ව්‍යවස්ථාව), ඒවා ඉල්ලා සිටීමට සෑම විරෝධතාකරුවෙකුටම අයිතියක් ඇත.

ජනාධිපති ඉල්ලා අස් වුවහොත් සිදුවන්නේ කුමක් ද?

අපේ පිළිතුර:

ජනාධිපති, ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වුවහොත් එම ධූරය පුරප්පාඩු වේ. එවැනි අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු ය. පුරප්පාඩු වූ ජනාධිපති ධූරය පිරවීම සඳහා ජනාධිපතිවරයා ඉල්ලා අස්වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතුය. ජනාධිපති එම ධූරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවක දී, ජනාධිපති ඉල්ලා අස්වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. එවැනි රැස්වීමකදී පාර්ලිමේන්තුවේ මහලේකම් ජනාධිපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීමට දිනයක් නියම කළ යුතුය.

එක් මන්ත්‍රීවරයෙකු පමණක් ජනාධිපති ධූරයට නම් වී ඇති අවස්ථාවක, එම පුද්ගලයා එම තනතුරට තේරී පත් වූ බව මහලේකම් විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. එක් අයෙකුට වඩා නම් වී ඇති අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්විය යුතු අතර, එම පුද්ගලයා ප්‍රකාශිත ඡන්ද අතුරින් පරම බහුතරයක් (absolute majority) ලබාගෙන තේරී පත් විය යුතුය. 1981 අංක 2 දරණ ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත තුළ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දක්වා ඇත.

ජනාධිපති ධූරය පුරප්පාඩු වීමත්, නව ජනාධිපති වැඩ භාර ගැනීමත් අතර කාලය තුළ වත්මන් අගමැති වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරයි. මෙම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් එක් අමාත්‍යවරයෙකු පත් කළ යුතුය. අලුතින් තේරී පත් වූ ජනාධිපතිට, කලින් ජනාධිපතිගේ නිල කාලයේ ඉතිරි කාලය සඳහා එම ධූරය දැරිය හැක.

මෙයින් අදහස් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වුවහොත්, පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා තෙක්, මාසයකට අඩු කාලයක් සඳහා රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති වනු ඇති බවයි.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ඔබටත් ප්‍රශ්න තියෙනව ද? ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර එම ප්‍රශ්න අසන්න. නැත්නම් එම සමාජ මාධ්‍ය තුළ අපිව ටැග් කර එම ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய