සිංහල: #AskWatchdog - 04

සිංහල: #AskWatchdog - 04

@June 23, 2022

Read this article in English | සිංහල| தமிழ்

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

විදුලිබල පනතේ සිදු වූ මෑත කාලීන වෙනස්කම් මොනවා ද? ඒවායින් අදහස් කරන්නේ කුමක් ද?

අපේ පිළිතුර:

ජූනි 09 වන දින, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරුන් එකසිය විස්සක් ඡන්දය ලබා දුන් අතර විපක්ෂව ඡන්ද 36 ක් ලැබිණි. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදි. විදුලිබල උත්පාදන බලපත්‍රය නිකුත් කිරීම මත පැවති සීමාවන්, මෙගාවොට් (MW) 25 කට වැඩි ප්‍රමාණයක විදුලිය නිපදවන ඕනෑම අයෙකුට බලනොපාන පරිදි ඉවත් කිරීමට පනත් කෙටුම්පත විසින් යෝජනා කර තිබුණි.

මෙයින් අදහස් වන්නේ, මෙගාවොට් 25 කට වැඩි ධාරිතාවක් සහිත නව විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා ප්‍රදානය කිරීම අවශ්‍ය නොවන බවයි. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (Ceylon Electricity Board Engineers′ Union) වැඩවර්ජනයක නිරත වන බවට රජයට තර්ජනය කළේ සංශෝධන ඉවත් කරගන්නා ලෙසට බලකරමිනි. යෝජිත සංශෝධනය රට තුළ විදුලි ජනන ව්‍යාපෘති සඳහා තරඟකාරී ලංසු තැබීම ඉවත් කිරීමට උත්සාහ කරන බව ඔවුන් පවසන ලදි. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තවදුරටත් කියා සිටියේ මෙම සංශෝධනය ගෙන ආවේ Adani Green Energy Limited (AGEL) විසින් නියමිත ක්‍රියාවලිය මග හරිමින් යෝජනා කරන ලද මන්නාරම, පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 500 ක සුළං බල ව්‍යාපෘතිය සඳහා පහසුකම් සැලසීමට බවයි. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පසුව වැඩවර්ජනය නතර කරන ලදි.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ සංශෝධන ගෙන ආවේ පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගත් බලශක්ති උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා බවයි. රට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට රජය සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investments) මෙන්ම දේශීය සංවර්ධකයින් දිරිමත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

image

මේ අතරතුර සමගි ජන බලවේගය (SJB) කියා සිටියේ තරඟකාරී ලංසු තැබීමට ඇති අවශ්‍යතාවය ඉවත් කරන බැවින් මෙම සංශෝධන දූෂණයට දොර විවර කරන බවයි. SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තරඟකාරී ලංසු තැබීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන යෝජනා කළ ද ඒවා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වන ලදි. ආචාර්ය ද සිල්වාගේ කමිටු අදියරේ සංශෝධන යෝජනා මෙගාවොට් 10 ට අඩු බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා තරඟකාරී ලංසු තැබීම් පදනම් කරගත් ටෙන්ඩර් ක්‍රමවේදය ඉවත් කිරීමට යෝජනා කරන ලදි.

විනිවිදභාවයෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලි සහ දූෂණ හේතුවෙන් අපි විදුලිය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ වැඩි මුදලක් ගෙවනවා. තිබුණු එක් යහපත් අංගයක් වූයේ පුනර්ජනනීය ව්‍යාපෘතිවල තරඟකාරිත්වය අනිවාර්ය කර තිබීම. නමුත් ප්‍රමාදයන් තිබුණා. එම ප්‍රශ්නය නිරාකරණය කිරීම වෙනුවට ඔවුන් කළේ තරඟය නැති කිරීමයි. දරුණු තීරණයක්. ” ආචාර්ය හර්ෂ ද සිල්වා, 2022 ජුනි 09

පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ශ්‍රී ලංකාව යොමුකරන සීමිත අවධානය දැක්වෙන රූපයක් මෙන්න.

ආර්ථික අර්බුදය හමුවේ බලශක්ති උත්පාදනය සහ පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන්ගේ මිල දැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බරපතල ගැටලුවලට මුහුණ දී සිටී. අපි මීට පෙර මෙය විස්තරාත්මකව ගවේෂණය කළෙමු. මෙයින් කියැවෙන මූලික කරුණ නම් රටට තව තවත් පුනර්ජනනීය බලාගාර අවශ්‍ය බවයි. නමුත් එය වත්මන් ආර්ථික අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන මහා පරිමාණ දූෂණයට ඉඩ දෙමින් සිදු නොවිය යුතුය.

මෙම පනත් කෙටුම්පත කථානායකවරයා විසින් ජුනි 05 වැනි දින අනුමත කරන ලදුව ජූනි 15 වැනි දින සිට නීතියට ඇතුළත් කරන ලදි.

ශ්‍රී ලංකාවට සොරකම් කළ වත්කම් ආපසු ලබාගත හැකි ද?

අපේ පිළිතුර:

අපට නිතර අසන්නට ලැබෙන චෝදනාවක් නම් දේශපාලනඥයන් මහජන මුදල් සොරකම් කර ඇති බවත් ඒවා නැවත අයකර ගත යුතු බවත් ය. කෙසේ වෙතත්, සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීමට නම්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක හෝ අධිකරණ ක්‍රියාවලියක් තිබිය යුතුය. චූදිතයා වැරදිකරු බවට හෝ වත්කම් අපරාධවලින් උපයාගත් වත්කම් බවට හෝ තීන්දුවක් ලැබීමෙන් අනතුරුව පමණක් සොරකම් කළ වත්කම් ආපසු ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ නීති කිහිපයක් මඟින් සොරකම් කරන ලද වත්කම් රට තුළ දී අල්ලා ගැනීමට, රාජසන්තක කිරීමට සහ අත්හිටුවීමට ඉඩ ලබා දේ. ශ්‍රී ලංකාව තුළ එවැනි අපරාධ නඩු සම්පූර්ණ කිරීමට සාමාන්‍යයෙන් වසර 10.2 ක් ගත වේ.

සොරකම් කරන ලද වත්කම් ඵලදායී ලෙස නැවත අයකර ගැනීමට නීතිය වැඩිදියුණු කළ යුතුය.

සොරකම් කරන ලද වත්කම් විදේශ රටකට යවා තිබුණහොත්, එම අදාළ රටවල නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ සහාය ඇතිව ඒවා ආපසු ලබාගත හැකිය. මෙම ක්‍රියාවලිය සඳහා ද ආසන්න වශයෙන් අවුරුදු 10 ක්  ගත වනු ඇත. එසේම, විදේශ රටකට යවා ඇති වත්කම් ආපසු අයකර ගැනීම සඳහා අපට පරිපූර්ණ නීති කිසිවක් නොමැත.

💡
'සොරකම් කළ වත්කම්' යන යෙදුම රජයේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ අල්ලස් හෝ දූෂණ හෝ හරහා ලැබෙන මුදල් හෝ වත්කම් හෝ හැඳින්වීමට යොදාගනු ලැබේ. මෙය තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය හරහා යාම වෙනුවට දේශපාලනඥයෙකු කොන්ත්‍රාත්කරුවෙකුගෙන් අල්ලසක් ලබා ගැනීම විය හැකිය. තවත් උදාහරණයක් නම් දේශපාලනඥයෙකු රජයේ වත්කමක් එහි සැබෑ වටිනාකමට වඩා අඩු මිලකට මිල දී ගැනීමයි. එවැනි ගනුදෙනුවක් හේතුවෙන් රජයට ආදායමක් අහිමි වන අතර දේශපාලනඥයාට මුල්‍ය ප්‍රතිලාභ අත්වේ.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපිව ටැග් කර ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய