සිංහල: #AskWatchdog - 06

සිංහල: #AskWatchdog - 06

@July 27, 2022

Read this article in English | සිංහල | தமிழ்

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

මුදල් ඇමතිවරයෙකු නොමැතිව මහ බැංකුව ක්‍රියාත්මක විය හැකිද?

අපගේ පිළිතුර:

කෙටි පිළිතුර: ඔව්. ඇයි අපි එහෙම කියන්නේ?

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මුදල් අමාත්‍යාංශය යටතේ පැවතුන ද, එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ අධිපතිවරයා විසිනි. අධිපතිවරයාව, මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශයක් මත ජනාධිපතිවරයා විසින් වසර හයක කාලයක් සඳහා පත් කරනු ලැබේ.

CBSL හි තීරණ ගනු ලබන්නේ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලය (Monetary Board) විසිනි. මෙම සාමාජිකයින් අතරට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවය ඇතිව, මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තවත් සාමාජිකයින් තිදෙනෙකු ඇතුළත් වේ. 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ බලතල, වගකීම් සහ කාර්යයන් මුදල් මණ්ඩලයට පවරා ඇති අතර එය මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් සහ පරිපාලනය පිළිබඳ වගකීම දරයි. මුදල් නීති පනතට අනුව, මුදල් මණ්ඩලය යනු සදාකාලික අනුප්‍රාප්තිය (perpetual succession) සහිත සංස්ථාපිත ආයතනයකි. එයින් අදහස් කරන්නේ, එයට නීතිය ඉදිරියේ පුද්ගලයෙකුට හා සමානව සලකන බව වන අතර මුදල් අමාත්‍යවරයාගේ වෙනස්වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්ට බලපෑමක් ඇති නොකරයි.

2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය අතරතුර, ආණ්ඩුව සහ එවකට සිටි මුදල් අමාත්‍යවරයා මාරු වීම නොසලකා මහ බැංකුව දිගටම ක්‍රියාත්මක විය. එවකට අධිපතිවරයා වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සුපුරුදු පරිදි සිය රාජකාරි කරගෙන යන ලදි.

අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන්ද? එයට ඇති අවස්ථා මොනවාද?

අපගේ පිළිතුර:

වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව 2025 අගෝස්තු මාසයේදී අවසන් වේ. පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු නම්, වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක්‍රම දෙකක් තිබේ. ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුව එහි නිල කාලයෙන් වසර දෙකහමාරක් සම්පූර්ණ කළ පසු එය විසුරුවා හැරිය හැක (70 (1) (අ) ව්‍යවස්ථාව). වත්මන් පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් සම්පූර්ණ කර අවසන් නොමැති බැවින් මෙය සිදු කළ නොහැක. අනෙක් ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. එවැනි යෝජනාවක් සරල බහුතරයකින් සම්මත විය යුතුය.

තවත් ගැටලුවක් වන්නේ මැතිවරණයක් පැවැත්වීම වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන IMF වැඩසටහනකට ඇතුළු වීම ප්‍රමාද කරන්නේද යන්නයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළු වීමට අවශ්‍ය නම්, එසේ ඇතුළුවීමට තම අභිප්‍රාය දන්වමින් IMF වෙත ලිපියක් යැවිය යුතුය. එවැනි ලිපියක, ශ්‍රී ලංකාව සිදු කිරීමට අදහස් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ යුතු අතර මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුවේ අධිපතිවරයා එහි අත්සන් කළ යුතුය. තවද, IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹීම අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලට අදාළ යම් නීති සම්පාදනය කිරීම අවශ්‍ය වේ (උදා: අතුරු අයවැය සහ බදු නීති වෙනස් කිරීම). සක්‍රීය පාර්ලිමේන්තුවක් නොමැතිව මෙම කාර්ය දෙකම කිරීම ඉතා අසීරු වේ. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළකට ඇතුළත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් එය සමඟ සිදුකරන සාකච්ඡා ප්‍රමාද විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළු වීමෙන් පසුව ආණ්ඩුව වෙනස් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට බාධාවක් වන්නේ නැත. මන්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කරන්නේ රාජ්‍යය සමඟ මිස පුද්ගලයන් සමඟ නොවේ. පකිස්ථානයේ ආණ්ඩු වෙනස් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වැඩසටහන දිගටම කරගෙන යන ලදි. මෑතකදී පත් කරන ලද රජය යටතේ හත්වැනි සහ අටවැනි සමාලෝචන කිරීමෙන් අනතුරුව ජූලි මාසයේදී IMF පකිස්ථානය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹිණි.

අපි මැතිවරණයකට යන බවට උපකල්පනය කළහොත් ඊළඟ ප්‍රශ්නය වන්නේ මැතිවරණයකට වියදම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදලක් ශ්‍රී ලංකාව සතුව තිබේද යන්නයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිඟයක් පැවතුනද රජය අත්‍යවශ්‍ය කටයුතු සඳහා මුදල් වියදම් කරමින් සිටියි. මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ගිය වියදම රු. මිලියන 5,724 ක් බවයි. මැතිවරණයකට යන වියදම උද්ධමනයට සාපේක්ෂව ඉහළ දමා සැලකුවත් ඒ සඳහා අපට යන්නේ රු. බිලියන 10 කි. අනෙකුත් වියදම් හා සසඳන විට මාස 02-03 ක කාලයක් පුරාවට දිවෙන රුපියල් බිලියන 10 ක අමතර වියදමක් රජයට සැලකිය යුතු අමතර බරක් නොවේ. පහත දත්ත සැලකූ විට මෙය හොඳින් පැහැදිලි වේ: 2022 ජනවාරි-අප්‍රේල් කාලසීමාව සඳහා රජයේ වියදම රුපියල් බිලියන 1,155 ක් වූ අතර ඉන් රු. බිලියන 316 ක් වැටුප් ගෙවීම සඳහා වියදම් කරන ලදි. මූල්‍යමය සාධකය දෙස පමණක් බලන විට ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි බව පෙනේ.

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් ආනයනික ද්‍රව්‍ය හිඟවීමද ගැටලුවක් විය හැකිය. කෙසේ වෙතත්, මැතිවරණයට අදාළ විදේශ විනිමය ගෙවීම් සඳහා ප්‍රමුඛතාවය දීමෙන් මැතිවරණයක් පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුවන බවට තහවුරු කළ හැකිය. මැතිවරණ පිරිවැයෙන් 75% ක් ආනයනය හා සම්බන්ධ භාණ්ඩ සඳහා යැයි අප උපකල්පනය කළද, මැතිවරණ ආශ්‍රිත ආනයන සඳහා යෙදවීමට අවශ්‍ය වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 25 කට වඩා අඩු මුදලකි. මේ අනුව, ආනයනය කිරීමට ඇති දුෂ්කරතා මැතිවරණ නොපැවැත්වීමට සාධකයක් ලෙස සැලකිය නොහැක.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර හෝ ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய