පැහැදිලි කිරීම - IMF වෙත ශ්‍රී ලංකාවේ ගමන් මග

පැහැදිලි කිරීම - IMF වෙත ශ්‍රී ලංකාවේ ගමන් මග

අපගේ වත්මන් ආර්ථික අර්බුදය (#EconomicCrisisLK) පෙර නොවූ විරූ ආකාරයේ එකක් වන්නේ කෙසේද (සහ ඇයි) යන්න අප විමසා බලන අතර, අප හට ණය ගෙවීම පැහැර හරින බවට ප්‍රකාශ කිරීමට සිදු වූයේ මන්ද යන්න සහ මේ සියල්ල සමඟ IMF හට ඇති සම්බන්ධය අපි සොයා බලමු.

@April 16, 2022

Read this article in English | සිංහල | தமிழ்

image
කතාව සහ විශ්ලේෂණය: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට යන්තමින් දින දෙකකට පෙර, එනම් අප්‍රේල් 12 වැනි දින, ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ ඔවුන් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ අලුතින් පත් වූ මහා භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මෙය හැඳින්වූයේ IMF හි සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව සිදු කරන ‘පූර්වක්‍ර, සාකච්ඡා කරන ලද, ණය පැහැර හැරීමක්' (pre-emptive negotiated default) ලෙසයි. ආර්ථික විද්‍යාව පිළිබඳව ගැඹුරු දැනුමක් නොමැත්තෙකු හට මෙය පැහැදිලි කරන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම දැනට නවතා ඇති බව හා ගෙවීම් සම්පූර්ණ කිරීමට තවත් කාලයක් අවශ්‍ය වනු ඇති බව යි.

නිදහසින් පසු ශ්‍රී ලංකා රජයක් ණය ආපසු ගෙවීම පැහැර හරින පළමු අවස්ථාව මෙයයි. වෙනත් වචනවලින් පැවසුවහොත්, මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වෛරී පැහැර හැරීමයි (sovereign default). අපගේ දූපත් රාජ්‍යය පෙර කිසිම දිනක මෙතරම් අගාධයකට වැටී නොමැති අතර මින් ගොඩඒමට ලෙහෙසි ක්‍රමයක් නොමැත.

අප මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේ ද? එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම අපගේ එකම විකල්පය වන්නේ ඇයි?

අපගේ පෙර විශ්ලේෂණයන්හි දී, අප අපගේ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් පැවතුණු අන්දම පැහැදිලි කරන ලදි. බොහෝ ආර්ථික විද්‍යාඥයින් සඳහා, ස්වෛරී පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF හි සහය පැතීම අනිවාර්ය බව මෙන්ම රට අසීරු වසර කිහිපයකට ඉදිරියේ දී මුහුණ දෙන බව කලින්ම පැහැදිලි විය.

විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ විදේශ මුදල් ඒකකවලින් බව අප මතක තබා ගත යුතුය; සාමාන්‍යයෙන්, ඇමෙරිකානු ඩොලර්වලින්. අපගේ ණය ආපසු ගෙවීමේ හැකියාව බොහෝ දුරට රඳා පවතින්නේ අපගේ විදේශ මුදල් ඉපයීමේ හැකියාව මතයි. අඩු අපනයන හේතුවෙන් අප මේ අංශයෙන් දුර්වලයි. රටක විදේශ මුදල් ඉපැයීම් අඩු වන තරමට විදේශ ණය ආපසු ගෙවීම දුෂ්කර වේ.

දැන් ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම් වැඩි ප්‍රමාණයක් අත්හිටුවා ඇති බැවින්, ආනයන සඳහා ගෙවීම සහ විදේශ ණය ගෙවීම යන දෙකම කිරීමට උත්සාහ කිරීම වෙනුවට අපට දැන් අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට අප සතු විදේශ සංචිතවලින් වැඩි ප්‍රමාණයක් භාවිත කළ හැකිය. විදේශ මුදල් සංචිත අඩු අවස්ථාවක අප විදේශ ණය ආපසු ගෙවීමට උත්සාහ කළහොත්, භාණ්ඩ ආනයනය කිරීමට මුදල් ඉතිරි නොවේ. එසේම මෙය අනවශ්‍ය ආනයනයන් කපා හැරීමට රටවල්වලට බල කරයි.

මෙම අර්බුදය පෙර නොවූ විරූ දෙයක් වන්නේ ඇයි?

වත්මන් ආර්ථික අර්බුදය හේතු කිහිපයක් නිසාවෙන් පෙර නොවූ විරූ දෙයක් බවට පත්වේ.

News Curry ඉතා ගැළපෙන ලෙස පැවසූ පරිදි, අප ජනාධිපතිතුමාගේ නිමිති කියන්නිය වන ඥානක්කා මෙම ණය පැහැර හැරීම නම් කලින් දැක නැත. පින්තුරය
News Curry ඉතා ගැළපෙන ලෙස පැවසූ පරිදි, අප ජනාධිපතිතුමාගේ නිමිති කියන්නිය වන ඥානක්කා මෙම ණය පැහැර හැරීම නම් කලින් දැක නැත. පින්තුරය News Curry වෙතින්.

පළමුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නිරන්තරයෙන් පහත යාම හේතුවෙන්, 2019 අප්‍රේල් මාසයෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මේ හේතුවෙන් 2020-2022 කාලය තුළ කල් පිරෙන ISB ආපසු ගෙවීම අතිශයින් දුෂ්කර විය. නව ISB නිකුත් කිරීම ද දුෂ්කර කාර්යයක් බවට පත් වූයේ එවකට අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදෙන ලද බදු කප්පාදුව හේතුවෙන් 2019 අගභාගයේ දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හේතුවෙනි. මෙම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීමෙන් පසුව ද COVID-19 හි අහිතකර සාර්ව ආර්ථික ගම්‍යාර්ථවලට ප්‍රතිචාර වශයෙන් තවත් එවැනි පහත හෙලීම් මාලාවක් සිදු වූ හෙයින් ISB නිකුත් කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විදේශ මුදල් (ඇමෙරිකානු ඩොලර්, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය විදේශ මුදල්) ණයට ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් සීමා විය.

👉🏽
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යනු කිසියම් ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන වාණිජ ණය ගැනීම් වේ. මෙයින් අදහස් කරන්නේ එම මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් රජයට පූර්ණ නිදහස ඇති බව යි. ඉල්ලන සම්පූර්ණ ණය මුදලම ද රජයට එක වර ලැබේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ව්‍යාපෘති ණයවලට වඩා මිල අධිකයි.

මෙම ණය ශ්‍රේණිගත කිරීම් එතරම් වැදගත් වන්නේ ඇයි?

👉🏽
රටක ණය ශ්‍රේණිගත කිරීම් රටේ ණය ආපසු ගෙවීමේ හැකියාව පෙන්නුම් කරයි. එබැවින්, එවැනි ශ්‍රේණිගත කිරීමක් පහත වැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවේ පිරිහීමක් ඇඟවුම් කරයි. ණය ශ්‍රේණිගත කිරීම් අඩු වන තරමට ණය ආපසු ගෙවීමේ හැකියාව ද අඩු වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, 2019 දී ලබාදෙන ලද බදු සහන සැලකිය යුතු ආදායම් ප්‍රමාණයක් අහිමි කරන බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩු වන බවත් ශ්‍රේණිගත කිරීමේ ආයතන අනතුරු අඟවන ලදි. 2020 වන විටත්, ශ්‍රී ලංකාව ඉහළ අයවැය හිඟයක් (රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායමට වඩා වැඩි වීම) පෙන්නුම් කළ අතර, තවදුරටත් බදු සහන ලබාදීම හේතුවෙන් බදු ආදායම තවදුරටත් අඩු වී, ඊටත් වඩා ඉහළ අයවැය හිඟයක් ඇති විය. මේ හේතුවෙන් සැලකිය යුතු ආදායම් වැඩිවීමක් නොමැතිවම තව තවත් ණය ගැනීමට රජයට සිදු විණි.

ඔබට පෙනෙන පරිදි මෙය බැරෑරුම් සාර්ව ආර්ථික ගැටලුවක් වන අතර එය ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීමට තුඩුදිනි.

රට තුළ දැනටමත් ඉතා ඉහළ විදේශ ණය සේවාකරණ අනුපාතිකයක් ඇති බැවින් (අපනයන ඉපැයීම්වලින් විශාල කොටසක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා වැය කරනු ලැබීම) සහ 2020 සිට සෑම වසරකම ඩොලර් බිලියන 4 කට වැඩි විදේශ ණය ආපසු ගෙවීමක් කිරීමට අවශ්‍ය බැවින් මෙම ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීම කනස්සල්ල දනවන කරුණක් වේ. 2020 සිට ශ්‍රී ලංකාවට සෑම වසරකම ඩොලර් බිලියන 1 කට වඩා වැඩි මුදලක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් ගෙවීමට සිදු වීම වැදගත් කරුණකි. මෙම ISB පියවීම සඳහා ප්‍රධාන මුදල එකවර ආපසු ගෙවීම අවශ්‍ය වේ - එයින් අදහස් වන්නේ ISB ගෙවීමට ප්‍රමාණවත් විදේශ මුදල් ශ්‍රී ලංකාව සතුව තිබිය යුතු බවයි. ලබාගත් ISB ආපසු ගෙවීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ නව ISB නිකුත් කිරීම හරහා විදේශ මුදල් සංචිත වැඩි කරගෙන එම මුදල් පෙර ISB ගෙවීම සඳහා භාවිත කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ අනෙකුත් ණය මෙන් නොව, ISB මුදල් ව්‍යාපෘතියක් හා බැඳී නොතිබීම හේතුවෙන් රජයට එය කැමති පරිදි භාවිත කිරීමට නිදහස තිබීමයි. මෙය ප්‍රතිමූල්‍යකරණය (refinancing) හෝ ණය පෙරළීම (roll-over of debt) හෝ ලෙස හැඳින්වේ. මේ එක ණයක් ගෙවීමට තවත් ණයක් ගැනීමක් ලෙස හැඟෙන්නේ නම් එය නිවැරදියි; ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියා කරන්නේ එලෙසයි. මහා භාණ්ඩාගාර බැඳුම්කර සහ මහා භාණ්ඩාගාර බිල්පත් ද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරයි.

රටේ ණය ශ්‍රේණිගත කිරීම් නිරන්තරයෙන් පහත වැටුණු හෙයින් 2020 සිට නව ISB නිකුත් කිරීමට නොහැකි වූ නිසා (ශ්‍රී ලංකාව සිය අවසන් ISB නිකුත් කළේ 2019 අප්‍රේල් මාසයේ දී බව සලකන්න) ශ්‍රී ලංකාවට ප්‍රතිමූල්‍යකරණය යන විකල්පය වෙත යා නොහැක. සාමාන්‍යයෙන් සිදු කරන ISB ගෙවීමේ ක්‍රමය තවදුරටත් විකල්පයක් නොවිණි. මෙය ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකාව සතුව 2030 දක්වා දිවෙන ISB කල්පිරීම් තිබීම නිසායි; මේවා පියවා ගැනීමට නොහැකි වීම අපගේ ආර්ථිකය ගැඹුරු පටලැවිල්ලකට තල්ලු කළේ රට ණය පැහැර හැරීමේ ඉහළ අවදානමකට ලක් වුණු බැවිනි.

2007 ට පෙර ශ්‍රී ලංකාව සතුව ISB නොතිබූ බවත්, ඒ හේතුවෙන් කිසිම දිනක විදේශ ණය ආපසු ගෙවීමේ දී මෙතරම් දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බවත් මතක තබා ගැනීම වැදගත් ය.

2020-2025 කාලය පුරාවට, ISB යටතේ ඇති ණය ආපසු ගෙවීම්, රජයේ මුළු විදේශ ණය ආපසු ගෙවීම්වලින් 50% ක් පමණ වන බව දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය - ඇමෙරිකානු ඩොලර් මිලියනවලින්

12 3 4 5 6
2020
2021
2022
2023
2024
2025
ප්‍රතිලබ්ධි වූ ණය ප්‍රමාණය (Disbursed Outstanding Debt)
            36,760
            35,767
            35,647
            33,184
            30,621
            26,782
ප්‍රතිලබ්ධි (Disbursements)
               2,254
               2,394
               3,424
               1,370
               1,077
             520
ණය වාරික ගෙවීම් (Principal Repayments)
               2,827
               2,773
               3,405
               3,310
               3,640
               4,359
පොලී ගෙවීම් (Interest Payment)
               1,464
               1,319
               1,267
               1,136
               1,031
                  934
මුළු ණය ගෙවීම් (Total Debt Repayments)
               4,291
               4,092
               4,672
               4,447
               4,671
               5,292
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් (ISB Repayments)
               2,024
               1,934
               2,357
               1,998
               2,162
               2,741
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් මුළු ණය ගෙවීම්වල ප්‍රතිශතයක් ලෙස (ISB Repayments as a % of Total Debt Repayments)
47.2%
47.3%
50.4%
44.9%
46.3%
51.8%
සටහන: 2022-2025 කාලය, මුදල් ප්‍රමාණයන් ඇස්තමේන්තු කිරීම් වේ. මූලාශ්‍රය: තොරතුරු දැනගැනීමේ පනත හරහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට යොමු කළ ඉල්ලීම්. මෙම දත්තවලට මහා භාණ්ඩාගාරය රාජ්‍ය ව්‍යවසායනවලින් ලබාගත් ණය මුදල් අයත්වන අතර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ මුදල් ඒකක හුවමාරු කිරීම් ඇතුළත් නොවේ.

දෙවනුව, COVID-19 ලොව පුරා පැතිර යාමත් සමඟම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. සංචාරකයින් විදේශ මුදල් රැගෙන එන අතර බොහෝ දුරට එම විදේශ මුදල් බැංකු හරහා හුවමාරු කරයි. සංචාරකයන් නොපැමිණීම වසරකට ඇ. ඩො. බිලියන 4 කින් පමණ විදේශ මුදල් ගලා ඒම අඩු වීමට හේතු විය. සංචාරක කර්මාන්තය හරහා වන ඉපැයීම් 2019 දී ඇ. ඩො. බිලියන 3.6 සිට 2020 දී ඇ. ඩො. මිලියන 700 දක්වා අඩු විය. 2021 දී එය තවදුරටත් ඇ. ඩො. මිලියන 260 දක්වා පහත වැටුණි. 2017-2020 කාලය තුළ සංචාරක කර්මාන්තය හා බැඳුණු ඉපැයීම් රටේ මුළු විදේශ මුදල් ඉපැයීම්වලින් දළ වශයෙන් 15% ක් විය; එය ශ්‍රී ලංකාවට විදේශ මුදල් ඉපැයීමේ තෙවන විශාලතම දායකයා විය. 2017-2019 කාලය තුළ භාණ්ඩ හා අනෙකුත් සේවා අපනයනයෙන් ලැබුණු ඉපැයීම් මුළු විදේශ මුදල් ඉපැයීම්වලින් 60% ක් පමණ වූ අතර සේවක ප්‍රේෂණ දළ වශයෙන් 35% ක් විය.

දැන් මෙම කරුණු දෙක එකට සලකා බලන්න. ISB නිකුත් කිරීම හරහා විදේශ මුදල්වලින් ණය ලබා ගැනීමේ හැකියාව අහිමි වීම සහ සංචාරක ව්‍යාපාරයට ඇති වූ අහිතකර බලපෑම් හේතුවෙන් විදේශ මුදල් ගලා ඒම අහිමි වීම හරහා ආර්ථිකයට දෙගුණ වූ පහරක් එල්ල විය. 2020 දී විදේශ මුදල් ඉපැයීම් දළ වශයෙන් 30% කින් අඩු වී තිබූ අවස්ථාවක (2019 ට සාපේක්ෂව), විදේශ මූල්‍ය පරතරය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් ණයට ගැනීමේ පහසුම විකල්පය ද ශ්‍රී ලංකාවට අහිමි විය.

2017-2020 කාලය තුළ ශ්‍රී ලංකාව බිලියන 7 ක් වටිනා ISB නිකුත් කර ඇත. ණය ආපසු ගෙවීමේ අවශ්‍යතා දෙස බලන විට, එම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සෑම වසරකම බිලියන 1.5-2 ක් වටිනා ISB නිකුත් කළ යුතු බව පැහැදිලි ය. කලින් පෙන්වා දුන් පරිදි, සංචාරක කර්මාන්තය හරහා විදේශ මුදල් ගලා ඒම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5-4 ක පමණ විදේශ මුදල් ඉපැයීම් අහිමි විය. මෙයින් අදහස් කරන්නේ, ශ්‍රී ලංකාවේ වාර්ෂික විදේශ මුදල් ගලා ඒම (විදේශ ණය ගැනීම් හරහා සිදුවන ගලා ඒම් ද ඇතුළුව) දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5-6 කින් අඩු වී ඇති බවයි. ඇමරිකාව හෝ චීනය හෝ වැනි විශාල ආර්ථිකයක් ඇති රටවලට එවැනි මුදලක් නොගිණිය හැකි තරම මුත් ශ්‍රී ලංකාවට එය ඇත්තටම විශාල මුදලකි.

💡
2020 න් පසු, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළෙන් ණය ගැනීම සඳහා ශක්‍ය විකල්පයක් නොමැතිවම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් මූල්‍ය පරතරය සැලකිය යුතු ලෙස වැඩි විය. එවැනි තත්ත්වයක් තුළ, නුවණැති විකල්පය වනුයේ විදේශ ණය ආපසු ගෙවීමට රටට නොහැකි බව පිළිගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. රජය මෙය නොකිරීමට තීරණය කරන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය පැතීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නුවණැති විකල්පය වූයේ ඇයි?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු ණය ආපසු ගෙවීමේ කාලසටහන වෙනස් කිරීම සහ ආපසු ගෙවීම වසර කිහිපයකින් කල් දැමීමයි. මෙය බොහෝ විට 'කොණ්ඩ කැපීමක්' ලෙසින් හඳුන්වනු ලබන ණය බැඳීම් අඩු කිරීමක් හා සමඟ සිදු වේ (ඔබ ඩොලර් මිලියන 100ක් ණය වී ඇත්නම් සහ ඔබේ ණයහිමියා 10%ක 'කොණ්ඩ කැපීමකට' එකඟ වන්නේ නම්, එයින් අදහස් කරන්නේ ඔබ ඩොලර් මිලියන 90ක් පමණක් ආපසු ගෙවිය යුතු බවයි). මෙය සිදු කිරීමෙන් රටකට රජයේ වියදම් සහ විදේශ මුදල් පිටතට ගලායාම අඩු කරගැනීම හරහා ණය ආපසු ගෙවීමේ බර අඩු කර ගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවේ ණය හිමියන් සඳහා පාඩු ඇති කළ හැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකඟ වීමට නම්, ණය හිමියන්ට ප්‍රමාද වී වුව ද ඔවුන්ගේ ගෙවීම් ලැබෙනු ඇති බවට සහතිකයක් අවශ්‍ය වේ. මහජන මූල්‍ය කළමනාකරණය පිළිබඳ දුර්වල වාර්තාවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට මෙම සහතිකය ලබා දීම දුෂ්කරය. කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතුළු වීමම රට පිළිබඳ විශ්වසනීයත්වය වැඩි කරයි; මහජන මූල්‍ය ප්‍රවේශමෙන් කළමනාකරණය කරන බවටත්, අපට අනිවාර්යයෙන්ම නියමිත වේලාවට ණය ආපසු ගෙවීමට හැකි වනු ඇති බවටත් එය සහතික කරයි. අප IMF වැඩසටහනක් සඳහා ලියාපදිංචි වූ පසු, IMF විසින් අපගේ මහජන මූල්‍ය කළමනාකරණය නිරන්තරයෙන් සමාලෝචනය කරනු ඇත. වෙනත් වචනවලින් කිවහොත්, IMF වැඩසටහන(න්) ඇතැම් ඉලක්ක සපුරා ගැනීමට රට උනන්දු කරන අතර ඒ අතරට බදු ආදායම, අයවැය හිඟය සහ තවත් සාර්ව ආර්ථික දර්ශක කිහිපයක් අයත් වේ. එසේම මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා යම් යම් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමත් IMF විසින් සිදුකරනු ලැබේ. මෙම ප්‍රතිසංස්කරණවලට බොහෝ විට බදු වෙනස් කිරීම්, අත්‍යවශ්‍ය නොවන රජයේ වියදම් අඩු කිරීම සහ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම ඇතුළත් වේ. එවැනි කැපවීම් සමඟ, ජාත්‍යන්තර ණය හිමියන් (ශ්‍රී ලංකාවට ණය දුන් බැංකු සහ අනෙකුත් ආයතන), ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කර ගනු ඇත. මේ ආකාරයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීම හරහා ණය පැහැර හැරීම පිළිබඳ කනස්සල්ල අඩු වන බැවින් ශ්‍රී ලංකාවට තවත් ණය ලබා ගැනීමට ඉඩ සැලසේ.

එසේම, යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළු වූ පසු, එම රටට විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන ණයක් ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙවැනි ණයක් හරහා රටට ඉතා අවශ්‍ය විදේශ මුදල් ගලා ඒම සිදුවෙනු ඇත. මෙය විදේශ මුදල් හිඟය අවම කර ගැනීමට සහ බාධාවකින් තොරව ආනයන සඳහා මුදල් ගෙවීමට අප රටට ඉඩ සලසයි.

IMF වැඩසටහනකට ඇතුළු වීම ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, අප්‍රේල් 18 වැනි දින ආරම්භ වන මූලික සාකච්ඡා වටවලින් පසුව, ශ්‍රී ලංකා රජයට ආර්ථික ස්ථාවරත්වය සඳහා රටේ කැපවීම් ගෙනහැර දක්වමින් IMF වෙත අභිප්‍රාය දැක්වීමේ ලිපියක් (Letter of Intent) ඉදිරිපත් කිරීමට සිදුවේ. සිත්ගන්නා කරුණ වන්නේ, මීට පෙර 2009 සහ 2016 වර්ෂවල දී ශ්‍රී ලංකාව විසින් යවන ලද අභිප්‍රාය දැක්වීමේ ලිපි මගින් බදු ආදායම වැඩි කිරීමට, බදු නිදහස් කිරීම් අඩු කිරීමට, අත්‍යාවශ්‍ය නොවන රජයේ වියදම් අඩු කිරීමට සහ ඉන්ධන සහ විදුලිය සඳහා මිල සූත්‍ර හඳුන්වා දීමට රජය දක්වන කැපවීම් පෙන්වා දී තිබුණ නමුදු, පාලන තන්ත්‍ර වෙනස්වීම් හේතුවෙන් ඒවා කෙටි කාලයකට පමණක් සීමා වීමයි. 2018 දී හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය සහ 2017 දී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ එවැනි සමහර ප්‍රතිසංස්කරණ වේ. අනෙක් ඒවා නොසලකා හැර හෝ අමතක කර හෝ දමන ලදි. තවත් කිහිප අවස්ථාවක දී, පොරොන්දු වූ දෙයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙය ක්‍රියාත්මක කරන ලදි; 2009 දී බදු සහන අඩු කරන බවට පොරොන්දු වී තිබියදීත්, රජය උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ බදු සහන ගණනාවක් ලබා දුන් ආකාරය එවැනි අවස්ථාවකි.

IMF විසින් යෝජනා කරන මෙම ප්‍රතිසංස්කරණ හෝ IMF ණය දීමේ 'කොන්දේසි' හෝ බොහෝ විට 'ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ' ලෙස හැඳින්වේ - එනම් රජය ක්‍රියා කරන ආකාරය වෙනස් වීම යි. කලින් පෙන්වා දුන් පරිදි, එවැනි ප්‍රතිසංස්කරණ යටතට බොහෝ විට බදු වෙනස් කිරීම්, ව්‍යාපාරික රෙගුලාසි ලිහිල් කිරීම, විනිමය අනුපාතිකය තීරණය කරන ආකාරය වෙනස් කිරීම, ඉන්ධන සහ විදුලි මිල සූත්‍ර සම්මත කිරීම, රජයේ වියදම් අඩු කිරීම සහ තවත් බොහෝ වෙනස්කම් ඇතුළත් වේ. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන IMF කාර්ය මණ්ඩල වාර්තා සහ ශ්‍රී ලංකාව සමඟ ඇති වැඩසටහන් සම්බන්ධයෙන් IMF සමාලෝචන තුළ බොහෝ විට අවධාරණය කෙරේ. 1950 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෙකු වූ දා සිට ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ඇත. මෙය අප 17 වැනි වතාවට සහය පතන අවස්ථාව වුව ද, අප ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂයෙන් උපකාර ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙයයි.

ආනයන සහ සීමා කිරීම් පිළිබඳව යමක්

යම් හේතුවක් නිසා, 2020 සහ 2021 වසර දෙකෙහි දී ම රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සහ IMF හි සහාය ලබා ගැනීමෙන් වැළකීමට තීරණය කරන ලදි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා විදේශ මුදල් පිටතට ගලා යාම අඩු කිරීම වෙනුවට විදේශ මුදල් පිටතට ගලායාම සීමා කිරීම සඳහා ආනයන අඩු කිරීම කෙරෙහි ඔවුහු අවධානය යොමු කළහ.

මෙම උපාය මාර්ගයෙහි ගැටලු කිහිපයක් බැවින් මෙය මධ්‍ය කාලීනව ගත හැකි අවධානම්කාරී මාර්ගයක් විය. මන්ද,. ශ්‍රී ලංකාවේ ආනයනවලින් 50% කට වැඩි ප්‍රමාණයක් අතරමැදි භාණ්ඩ වේ. එයින් අදහස් වන්නේ අපගේ නිෂ්පාදන, ආනයනය මත දැඩි ලෙස රඳා පවතින බවයි. මෙම ආනයන සීමා කිරීම අනිවාර්යයෙන්ම නිෂ්පාදන ධාරිතාව අඩුවීමටත්, ඒ හේතුවෙන් අපනයන පහත වැටීමටත් හේතු වේ. අනෙකුත් ආනයනයන් වූයේ ආහාර ද්‍රව්‍ය (කිරිපිටි වැනි) සහ දුරකථන සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. එදිනෙදා ජීවිතයට එවැනි නිෂ්පාදනවල ඇති වැදගත්කම නිසාවෙන් මෙම ආනයනයන් කපා හැරීම කළ නොහැක්කක් තරම් වේ.

ආනයන සීමා කිරීම හරහා විදේශ මුදල් හිඟයට පිළියම් යෙදීම දුෂ්කර වීමට තවත් හේතුවක් විය. 2020 අවසානය වන විට, බොහෝ භාණ්ඩවල ගෝලීය මිල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යාමට පටන් ගන්නා ලදි. නැව් ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් මෙය වඩාත් නරක අතට හැරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2021 දී ආනයන ප්‍රමාණය අඩු වුව ද ආනයන වියදම් වැඩි විය. ආනයනික භාණ්ඩවල මිල වැඩි වූ නමුත් ශ්‍රී ලංකාවේ අඩු පොලී අනුපාත හේතුවෙන් ව්‍යාපාරවලට ආනයනයන් දිගටම කරගෙන යාමට හැකි විය. ඔවුහු අවශ්‍ය මුදල් ණයට ගෙන භාණ්ඩ ආනයනය කිරීම කරගෙන ගියහ. තවද, මහ බැංකුව රජයට දිගින් දිගටම ණය ලබා දීම හේතුවෙන් ආර්ථිකය තුළ මුදල් තොග වැඩි විය. ආර්ථිකය තුළ වැඩිපුර මුදල් සංසරණය වීම නිසා පරිභෝජනය හා නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතිණි. කලින් සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාවේ බොහෝ පරිභෝජන සහ නිෂ්පාදන රඳා පවතින්නේ ආනයන මත යි. මේ නිසා රජයට ආනයන වියදම් සීමා කිරීමට අපහසු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් පිටතට ගලා යාම අඩු කිරීමට රජය අපොහොසත් විය.

ආනයන බිල්පත් අඩු කිරීමේ රජයේ අපේක්ෂාව, 2020 දී ආනයන බිල්පත් සැලකිය යුතු ලෙස අඩු වීමෙන් පැන නැඟෙන්නට ඇතැයි සිතිය හැකිය. 2019 ට සාපේක්ෂව 2020 දී ආනයන බිල 20% කින් අඩු විය. සංඛ්‍යාත්මක වශයෙන් එම අඩුවීම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9 කි.

මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇතැයි රජය උපකල්පනය කරන්නට ඇති අතර, ආනයන බිල අඩු කිරීමෙන් ශ්‍රී ලංකාවට දිගටම සිය විදේශ මුදල් හිඟය කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නට ඇත. මෙහි දී වැදගත් කරුණ වන්නේ එම ආනයන බිල්පත් අඩුකිරීමෙන් තුනෙන් එකක් පමණම ඉන්ධන ආනයන වියදම අඩුවීමේ සෘජු ප්‍රතිඵලයක් වීමයි. එසේ වූයේ 2020 දී ඉන්ධන ආනයන වියදම ඇ. ඩො. බිලියන 1.35 කින් පහත වැටීම හේතුවෙනි. මෙම අඩුවීමට හේතු වූයේ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම සහ COVID-19 මැඩපැවැත්වීමට දිගුකාලීන ලොක්‌ඩවුන් තත්ත්ව ක්‍රියාත්මක කිරීමයි. 2021 දී ත් ඉන්ධන ආනයනයේ දී ශ්‍රී ලංකාවට විදේශ මුදල් ඉතිරි කර ගත හැකි වේ යැයි සිතීම මෝඩකමකි. එම වර්ෂයේ දී, අපගේ ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් ඇ. ඩො. බිලියන 1.2 කින් වැඩි වූ අතර, එය 2019 වර්ෂයේ ඉන්ධන ආනයන වියදමට බොහෝ දුරට ආසන්න විය. ආනයන සීමා පැවතුන ද, 2021 දී ආනයන කිරීම් ඇ. ඩො. බිලියන 4.6 කින් වැඩි වූ අතර මෙයට බොහෝ දුරට හේතු වූයේ ගෝලීය මිල ඉහළ යාම්, නැව්ගත කිරීම දී දැරීමට සිදු වූ වැඩි පිරිවැය සහ ජංගම දුරකථන සහ පරිගණක වැනි පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ඉල්ලුම වැඩි වීම යි. අනෙක් අතට, 2021 දී අපනයන කිරීම් වර්ධනය වූයේ ඇ. ඩො. බිලියන 2.5 කින් පමණි. ඒ හරහා රටට විදේශ මුදල් ගලා ඒමට වඩා වේගයෙන් රටින් විදේශ මුදල් පිටවීම සිදු විය. අප කලින් සඳහන් කළ පරිදි, ISB නිකුත් කිරීම හරහා විදේශ මුදල් ලබා ගෙන විදේශ මුදල් හිඟය පියවා ගැනීමේ සුඛෝපභෝගී විකල්පය ශ්‍රී ලංකාවට ඒ වනවිට නොතිබුණි.

ඒ අනුව රටට ඉතිරි වූයේ එක් භයානක විකල්පයක් පමණි; එනම්, විදේශ සංචිත අවසන් වීමේ අවදානම නොසලකා හරිමින්, ආනයන සඳහා ගෙවීමට සහ විදේශ ණය ආපසු ගෙවීමට පවතින විදේශ මුදල් සංචිත ප්‍රයෝජනයට ගැනීමයි. ශ්‍රී ලංකා මහා බැංකුව මෙම විකල්පය තෝරා ගැනීමට තීරණය කරන ලදි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජනවාරි මාසයේ දී ඇ. ඩො. බිලියන 6.5 ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය 2022 මාර්තු අවසන් වන විට ආසන්න වශයෙන් ඇ. ඩො. මිලියන 150 දක්වා ක්ෂය විය.

image

ශ්‍රී ලංකාවේ දැවැන්ත විදේශ ණය ආපසු ගෙවීමේ බැඳීම් සැලකිල්ලට ගත් කළ, අපගේ විදේශ මුදල් සංචිත භාවිත කිරීම තිරසාර විකල්පයක් නොවීය. මෙම උපාය මාර්ගය කෙටි කාලීනව හෝ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට යම් අහිතකර ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුන්වා දීමට සිදු විය.

👉🏽
මෙම ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් දෙකක් වූයේ (අ) පොහොර ආනයනය තහනම් කිරීම සහ (ආ) ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යාමයි. මෙම ප්‍රතිපත්ති දෙක හරහා තත්ත්වය වඩාත් නරක අතට හැරුණි.

පොහොර තහනම ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර හිඟයක් ඇතිවීම හා මිල ඉහළ යාම සිදුවිණි. ස්ථාවර විනිමය අනුපාතිකයක් අනුගමනය කිරීම හේතුවෙන් ඩොලරයකට අඩු රුපියල් ප්‍රමාණයක් ලබා දීමට බැංකුවලට බල කෙරුණු බැවින් විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා වන අළු වෙළඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය විය. ජනතාව, විදේශ මුදල් සඳහා ඉහළ අනුපාත ලබා දෙන නිල නොවන විදේශ මුදල් හුවමාරු නාලිකා තෝරා ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ඉපැයීම් නොයැවීම හේතුවෙන් සේවකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු අඩුවීමක් සිදුවිය. 2021 දී සේවක ප්‍රේෂණ, 2020 දී ලැබුණු සේවක ප්‍රේෂණවලට සාපේක්ෂව, දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කින් අඩු වී තිබිණි. මෙය විදේශ මුදල් සංචිත තවදුරටත් ක්ෂය වීමට හේතු විය.

2022 ආරම්භයේ දී, පවතින සීමිත විදේශ මුදල් සංචිත භාවිත කරන්නේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ද විදේශ ණය ආපසු ගෙවීමට ද යන්න රජය සහ මහ බැංකුව තීරණය කළ යුතු තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින ලදි. ජනවාරි මාසයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව රටට දිගටම විදේශ ණය ආපසු ගෙවිය හැකි බවට දැඩි ස්ථාවරයක සිටි අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට පියවර ගන්නා ලදි.

“ශ්‍රී ලංකාව අද පරිණත වූ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවා ඇත.” හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල්, 2022 ජනවාරි 18 වැනි දින.

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත සහ විදේශ ණය ආපසු ගෙවීම්

මාසය භාවිත කළ හැකි විදේශ මුදල් සංචිත - ඇ. ඩො. මිලියනරජය සිදුකළ යුතු විදේශ ණය ආපසු ගෙවීම් - ඇ. ඩො. මිලියන
2019 දෙසැම්බර් 
6616.4
4290.7
2020 දෙසැම්බර්
5185.1
4091.8
2021 දෙසැම්බර්
1203.0
4671.5

විදේශ මුදල් සංචිත පහත වැටීම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට රජයට අසීරු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන හිඟයක් ඇති විය. ශ්‍රී ලංකාවේ විදුලි සැපයුමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්ධන භාවිතයෙන් නිපදවන බැවින් ඉන්ධන හිඟය උග්‍රවීමත් සමඟම ප්‍රමාණවත් තරම් විදුලිය නිපදවීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අපොහොසත් විය.

image

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ ශ්‍රී ලංකා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත මත පදනම්ව කර්තෘ විසින් සම්පාදනය කරන ලදි.

ඊළඟට කුමක් ද?

විදේශ මුදල් සංචිත ශුන්‍යයට ආසන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව අවසානයේ දී සිය විදේශ ණය ගෙවීම පැහැර හරින ලදි. මෙම පැහැර හැරීම හේතුවෙන් තත්ත්වය නරක අතට හැරෙන්නේ නැත, නමුත් එය තත්ත්වය වහාම යහපත් අතට නොහරවනු ද ඇත. මෙය, මෙම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඇති දිගු ක්‍රියාවලියක ආරම්භක නමුත් තීරණාත්මක පියවරක් පමණි. හිඟතාවයන් තවත් යම් කාලයක් පවතිනු ඇත. මිල ගණන් ඉහළ මට්ටමක පවතිනු ඇත. නමුත් මෙම 'පූර්වක්‍ර ගෙවීම් පැහැර හැරීම' අපේ ආර්ථිකය කඩා නොවැටෙන බවට හා මධ්‍ය කාලීනව විදුලිය සඳහා ප්‍රමාණවත් මුදල් අප සතුව ඇති බවටත්, දින ගණන් සම්පූර්ණයෙන් විදුලිය ඇනහිටීම් නොවන බවටත් සහතික කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 18 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන අතර එමඟින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, බොහෝ දුරට විස්තීරණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility) හරහා, ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇත. මෙමගින් ආනයන සඳහා අවශ්‍ය විදේශ මුදල් කෙටි කාලීනව ලබා දෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළුවීම සහ ආණ්ඩුවේ වියදම් කපා හැරීම පිළිබඳව පැහැදිලිව දක්වා ඇති කැපවීම් සමඟින්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ ණය ලබා ගැනීමට සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතනවලින් සහ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව වැනි රටවලින් සමාජ හුවමාරු සපයා ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලීන් සඳහා කාලයක් ගත වේ; අපගේ විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පවතින බැවින්, හිඟතාවයන් ආසන්න කාලීනව දිගටම පවතිනු ඇත. එබැවින්, හිඟතා මඟහරවා ගැනීමට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ආධාර සැපයීම සඳහා සහන මුල්‍යකරණය කඩිනම් කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස පවතී.

IMF වැඩසටහනින් සිදුවන්නේ කුමක්ද යන්න සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න දිගු කතාවකි. එය අපගේ මීළඟ ලිපියට ඉතිරි කරමු.