සිංහල: #AskWatchdog - 09

සිංහල: #AskWatchdog - 09

image
කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සහ ජොෂුවා පෙරේරා සංස්කරණය: ටිනීකා ද සිල්වා පරිවර්තනය: නිශාදි ගුණතිලක

@October 22, 2022

Read this article in English | සිංහල | தமிழ்

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

පුනරුත්ථාපන පනත් කෙටුම්පත පිළිබඳව දැන ගැනීමට ඇත්තේ මොනවාද?

අපගේ පිළිතුර:

එහි ඇති මර්දනකාරී ස්වභාවය සහ මානව හිමිකම් කඩවීම් හේතුවෙන් විවේචනයට ලක්වූ පනත් කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය විසින් යෝජනා කරන ලදි.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. දේශපාලනඥයින්ගෙන් මෙන්ම ක්‍රියාකාරීන්ගෙන් එයට එකසේ විවේචන එල්ල වී ඇත.

ඔක්තෝබර් 09 වැනිදා වන විට ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ඊට එරෙහිව ගොනු කරන ලද විශේෂ නිර්ණය කිරීමේ පෙත්සම් 08 ක් විභාග කිරීම ආරම්භ කරන ලදි.

පනත් කෙටුම්පතේ අපේක්ෂිත ඉලක්කය යැයි පැවසෙන්නේ මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කරුවන්, 'නොමඟ ගිය' පුද්ගලයන් සහ රැඩිකල් අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමයි. මෙම බොහෝ වර්ගීකරණයන්ට ශ්‍රී ලංකාව තුළ නීතිමය නිර්වචනයන් නොමැත. එමනිසා එය ආගමික අන්තවාදීන්ගේ සිට සමාජ හා ප්‍රජාතාන්ත්‍රික යුක්තිය උදෙසා සටන් කරන ක්‍රියාකාරීන් සහ කණ්ඩායම් දක්වා ඕනෑම අයෙකු ඉලක්ක කළ හැකිය. පිළිගත් සම්මතයෙන් බැහැර වන මතවාදයක් දරන ඕනෑම අයකු මින් පීඩනයට ලක්වීමට ඉඩ ඇත.

ආචාර්ය රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත මුලින් අදහස් කළේ යටත් වූ LTTE සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමට බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එය “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තන්" සහ "නොමඟ ගිය තරුණයින්" ඇතුළත් කර නැවත සකස් කරන ලදි. මත්ද්‍රව්‍ය මත යැපෙන ඥාතීන් පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කරන පවුල්වල අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මෙම පනත් කෙටුම්පත පුනරුත්ථාපන ක්‍රියාවලියට හමුදා මැදිහත්වීම නීත්‍යානුකූල කර නීතිගත කරනු ඇත. එය "යම් නීත්‍යානුකූල විධානයන්ට අවනත කර ගැනීමට බල කිරීම සඳහා සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි අවම බලය" භාවිතය නීත්‍යානුකූල කරයි. මෙය ව්‍යංගයෙන්, නීත්‍යානුකූලව වධහිංසාව අනුමත කිරීමකි. පුනරුත්ථාපනය වන්නන් ඔවුන්ගේ රැකවලුන්ගේ දයාව මත රඳා සිටිනු ඇත. මීට අමතරව, රහස්‍යභාවය පවත්වාගෙන යාමේ වගකීම සම්බන්ධයෙන් වන 25 වන වගන්තිය තොරතුරු හෙළි කරන්නන්ට බාධාවක් විය හැකිය. පනත් කෙටුම්පත නීතිමය දඬුවම්වලට බියෙන් තොරව ඕනෑම මානව හිමිකම් කඩකිරීම් සංඛ්‍යාවක් කිරීමට තරම් ප්‍රමාණවත් දණ්ඩ මුක්තියක් සේවකයින්ට ලබා දෙයි.

පුනරුත්ථාපනය වන පුද්ගලයින් "ආර්ථිකය ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම සඳහා” භාවිත කළ හැකිය. වෙනත් වචනවලින් කිවහොත් පුද්ගලයන් ශ්‍රම බලකායක් බවට පත් කළ හැකිය.

ඔක්තෝබර් 29 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි බව තීරණය විය. මීට අමතරව, එය බලාත්මක කරනු ලැබිය හැක්කේ ඉහත සඳහන් කළ "පෙර සටන්කරුවන්", "ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන්" සහ "වෙනත් යම් තැනැත්තන් කණ්ඩායමක්" යන කාණ්ඩ ඉවත් කළ යුතුය යන කොන්දේසිය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය යටතේ අවශ්‍ය වන විශේෂ බහුතරයකින් පමණි. මෙම වෙනස් කිරීම සිදු නොකරන්නේ නම් මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ට සහ නීතියෙන් හඳුනාගෙන ඇති “එවැනි වෙනත් පුද්ගලයින්ට” පමණක් අදාළ වන ලෙස පනත් කෙටුම්පතෙහි යෙදීම පටු වනු ඇත.

මෙම වෙනස් කිරීම් සිදු කළ ද, පනත් කෙටුම්පතේ දිගුකාලීන ගම්‍යාර්ථයන් රටේ ජනතාවගේ මූලික නිදහසට බලපෑම් කරන්නේ කෙසේ දැයි බැලීමට ඉතිරිව ඇත.

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස පහත හෙළීම හා සම්බන්ධ හුටපටය මොකක්ද?

අපගේ පිළිතුර:

කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන නිවේදනය කළේ ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන කාණ්ඩයේ සිට අඩු ආදායම් ලබන රටක් බවට පහත හෙලීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. ටිකකට පසුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස දිගටම පවතිනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කළ නමුත් රජය සීමිත කාලයකට "ප්‍රතිලෝම උපාධි" (reverse graduation) ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ශ්‍රී ලංකාවට හෝ වෙනත් කිසිම රටකට හෝ ඔවුන් අයත් වන්නේ කුමන ආදායම් කාණ්ඩයට දැයි තීරණය කළ නොහැක. එය තනිකරම තීරණය වන්නේ ඒ ඒ රටවල ඒක පුද්ගල ආදායම මතය. මෙය ලෝක බැංකුව සිදු කර ඇති ඒක පුද්ගල ආදායම් කාණ්ඩ හතර මත පදනම් වේ. මෙම කාණ්ඩ වන්නේ අඩු ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් වේ.

කාණ්ඩය
ඒක පුද්ගල ආදායම (ඇ. ඩො.)
අඩු ආදායම්
< 1,046
පහළ මැදි ආදායම්
1,046 – 4,095
ඉහළ මැදි ආදායම්
4,096 – 12,695
ඉහළ ආදායම්
> 12,695

මූලාශ්‍රය: ලෝක බැංකුව

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ඇමෙරිකානු ඩොලර් 1045 ට අඩු ඒක පුද්ගල ආදායමක් ඇති රටවල් අඩු ආදායම්ලාභී රටවල් ලෙස සැලකේ. 2021 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,820 කි. එබැවින් ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් වීමට නම් එහි ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1045 ට වඩා අඩු විය යුතුය. මෙය, වර්තමානයේ පවතින තත්ත්වය අනුව සිදු විය නොහැක්කකි.

එසේ නම් 'ප්‍රතිලෝම උපාධිය' යන්න කුමක් සඳහා ද?

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට රටේ ණය දෙන කාණ්ඩය වෙනස් කරන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටිය හැක. මෙය ආදායම් කාණ්ඩයට වඩා වෙනස් ය. ලෝක බැංකුවෙන් සහනදායී ණය ලබා ගැනීමට රටක සුදුසුකම තීරණය වන්නේ ණය දෙන කාණ්ඩය අනුව මිස ආදායම් කාණ්ඩය අනුව නොවේ.

ලෝක බැංකුවේ ණය දෙන කාණ්ඩ තුනක් ඇත. එනම් ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association - IDA), මිශ්‍ර සහ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (International Bank for Reconstruction and Development - IBRD) ලෙසයි. ඒවා අතරින් IDA කාණ්ඩය යටතේ සපයනු ලබන ණය සඳහා වඩාත්ම සහනදායී කොන්දේසි ඇත (අඩු පොලී, දිගු ආපසු ගෙවීමේ කාලය සහ දිගු සහන කාලය).

image

මූලාශ්‍රය: OECD

ශ්‍රී ලංකාව 2017 දක්වා IDA ණය දෙන කාණ්ඩයේ සිටි අතර 2017 දී IBRD කාණ්ඩයට ඉහළ දමන ලදි. මෙයින් අදහස් කරන්නේ 2017 න් පසු IDA විසින් ලබා දෙන ණය සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් සුදුසුකම් නොලබන බවයි. මේ අනුව IDA වෙතින් ණය ලබා ගැනීමට (ඉතා සහනදායී ණය) ශ්‍රී ලංකාවට IBRD කාණ්ඩයේ සිට IDA කාණ්ඩය දක්වා පහළට යාමට අවශ්‍ය වනු ඇත.

ලෝක බැංකුව එම රටේ ණය ලැබීමට ඇති සුදුසුකම් මත පදනම්ව රටක ණය දෙන කාණ්ඩය තීරණය කරයි. සාමාන්‍යයෙන්, රටක ඒක පුද්ගල ආදායම වැඩි වන විට සහ එවැනි රටවල් අඩු ආදායමේ සිට මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ යන විට එය ණය ලැබීමට ඇති සුදුසුකම වැඩිදියුණු වීමේ ඇඟවීමක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව සැලකිල්ලට ගෙන එහි ආදායම් මට්ටම එලෙසම පවතින අතර (පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස) රටේ ණය ලැබීමට ඇති සුදුසුකම් පිරිහී ඇත.

විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාවට ඇති සීමාවන් මත ශ්‍රී ලංකාවට මේ වන විට තවත් සහනදායී ණය අවශ්‍ය වේ. මෙම තර්කය මත පදනම්ව ශ්‍රී ලංකාවේ ණය දෙන කාණ්ඩය පහත හෙලීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙමගින් ශ්‍රී ලංකාව IDA ණය සඳහා සුදුසුකම් ලබන බැවින් එය තවත් සහනදායී ණය සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත.

වැඩිදුර කියවීම්

අපෙන් ප්‍රශ්න අසන්න!

ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර, අපට පෞද්ගලික පණිවුඩයක් යොමු කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර ප්‍රශ්න අසන්න.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய