කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක
ඔබ විසින් අසන ලද ප්‍රශ්න:
සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වන්නේ ඇයි?
අපගේ පිළිතුර:
මෙම මස මුල දී මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු වී ඇති බවයි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව පරිප්පු, සීනි, අර්තාපල්, ලොකු ළූණු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අගෝස්තු මස මුල දී අඩු කරන ලදි.
- විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ
- අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මහ බැංකුව වෙළෙන්දන්ට විදේශ මුදල් ලබා දීම; එයින් හැඟවෙන්නේ ආනයන දිගටම කරගෙන යාමට සහ ඉල්ලුම සපුරාලීමට ව්‍යාපාරවලට ඇමෙරිකානු ඩොලර් ලැබුණු බවයි.
විවෘත ගිණුම් හරහා තෝරාගත් ආනයනවලට ඉඩ දීමේ ප්‍රතිඵලයක් ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුමක් ලැබී ඇති බව වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ මිල අඩු කිරීම් සිදු වී ඇත්තේ විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ විවෘත ගිණුම් හරහා උණ්ඩියාල් ක්‍රමය භාවිතයෙන් ආනයනය සඳහා සීමා පැනවීම හේතුවෙන් බවයි. විවෘත ගිණුම් හරහා ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත්, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය විදේශ මුදල් ලබාදීමටත් මහ බැංකුව පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරන ලද පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කරන බවත් එය විනිමය අනුපාතිකය ස්ථාවර වීමට හේතු වී ඇති බවත් ය. පසුගිය මාස තුන තුළ ආහාර නොවන ආනයන බොහොමයක් අඩු වී ඇති බව ද අපට නිරීක්ෂණය කළ හැකිය. ආනයන අඩුවීමේ ප්‍රවණතාවයත් සමඟ 2002 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව 2022 ජුනි මාසයේ දී වෙළඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා කරන ලදි. එම ආනයන පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස පවතින සීමිත විදේශ මුදල් අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සඳහා ලබා දිය හැක.
මීට අමතරව, ගෝලීය ගෑස් මිල පහත වැටීම හේතුවෙන් LP ගෑස් මිල ද අඩු විය. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050 කින් අඩු කර ඇත.
ඩොලර් රුපියල් බවට හැරවීමට අදාළව මහ බැංකුවේ නව රීති මොනවාද?
අපගේ පිළිතුර:
අගෝස්තු 12 වැනිදා සිට අනිවාර්ය මුදල් පරිවර්තනයට අදාළ සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රීති ලිහිල් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන ලදි. ගැසට් නිවේදන 2292/50 ට අනුව විදේශ මුදල් ගිණුම් වෙත ලැබෙන සේවා අපනයන ආදායම රුපියල් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, 2022 මාර්තු 11 වන දින නිකුත් කරන ලද 2270/66 ගැසට් නිවේදනයට අනුව, සේවා සැපයූ දිනයේ සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන අදායම රටට ගෙන ඒම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකාවට ගෙනෙන අපනයන ආදායමෙන් ඉතිරි වන කොටස ඊළඟ මාසයේ හත්වැනි (7 වැනි) දිනට හෝ ඊට පෙර හෝ රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි දැක්වෙන භාණ්ඩ අපනයනකරුවන් සඳහා වන අනිවාර්ය පරිවර්තන රීතිය නොවෙනස්ව පවතී. කෙසේ වෙතත්, අපනයනකරුවන්ට ඔවුන් විසින් ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම, භාණ්ඩ අපනයනයට අදාළ විදේශ මුදල් ගෙවීම් සිදු කිරීම, අපනයන ආශ්‍රිත සංචාර සඳහා විදේශ මුදල් ආපසු ගැනීම සහ ගැසට් නිවේදනයේ 4 වන වගන්තියේ දක්වා ඇති වෙනත් අවසරලත් ගෙවීම් සිදු කිරීම සඳහා ඔවුන්ගේ විදේශ මුදල් ලැබීම් භාවිත කිරීමට අවසර ඇත. එවැනි අවසරලත් ගෙවීම් සඳහා භාවිත කිරීමෙන් අනතුරුව ඉතිරි වන විදේශ මුදල් ප්‍රමාණය ඊළඟ මාසයේ පළමු සතිය වන විට රුපියල් බවට පරිවර්තනය කෙරේ.
සේවා අපනයනකරුවන්ට තම ඉපැයීම් රුපියල් බවට පත් නොකර විදේශ මුදල් ගිණුම්වල තබා ගැනීමට අවසර දී ඇතත්, රට තුළ පවතින විදේශ මුදල් හිඟය හේතුවෙන් අදාළ විදේශ මුදලින්ම එම මුදල් ආපසු ගැනීම තවදුරටත් දුෂ්කරව පවතිනු ඇත.
මෙම අනිවාර්ය පරිවර්තන දැනට මාස ගණනාවක සිට ක්‍රියාත්මකව පැවතිනි. අපගේ පෙර විශ්ලේෂණය මගින් මෙම බලහත්කාර පරිවර්තන රීතිය ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට සහ ජාත්‍යන්තර ආයතනවලට බලපාන්නේ කෙසේද යන්න පැහැදිලිව දක්වා තිබිණි.
මුහුදු වෙරළේ මළ සිරුරු - මොනවද මේ වෙන්නේ?
අපගේ පිළිතුර:
බස්නාහිර පළාත් මුහුදු තීරය දිගට වෙරළට මළ සිරුරු ගොඩගැසීමේ සංසිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ සන්නිවේදනයේ දුර්වලතාවයක් තිබේ. ඔබේ බොහෝ ප්‍රශ්න පැන නැග ඇත්තේ ගෝඨාගෝගම ක්‍රමයෙන් අවසන් වීමත් සමඟ ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් වුව ද, එවැනි පළමු අවස්ථාව වාර්තා වූයේ ජනවාරි මාසයේ දී ය. ජනවාරි 10 වැනි දින වයස අවුරුදු 40 සහ 55 අතර යැයි විශ්වාස කෙරුණු හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු පිළිවෙලින් වැල්ලවත්ත සහ බම්බලපිටිය වෙරළට ගොඩගසන ලදි.
සමස්තයක් වශයෙන්, අවම වශයෙන් මළ සිරුරු 11 ක් මේ වසරේ දිවයිනේ බටහිර වෙරළ තීරයට ගොඩගසා ඇත. එක් අයෙකු ළමයෙකු වන අතර පුත්තලමේ වයික්කාල් වෙරළ තීරයේ දී ජුනි 18 වැනි දින හමු විය. මළ සිරුර ජුනි මස 15 වැනි දින වත්තල කදිරාන පාලම අසල දී සියදිවි නසා ගැනීමට තැත් කළ කාන්තාව කැලණි ගඟට විසිකළ දරුවාගේ බව පොලිසිය තහවුරු කර ඇත.
අනෙක් සියල්ලෝම වැඩිහිටි පිරිමින් වූහ. පෙබරවාරි 05 වැනි දින වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී පිහි ඇනුම් තුවාල සමඟ හමුවූ ඔවුන්ගෙන් එක් අයෙකු අෆ්හාම් නසීර් නම් 21 හැවිරිදි මාලදිවයිනේ සිට පැමිණි සිසුවා බව හඳුනාගෙන ඇත.
පසුගිය මාස දෙක තුළ පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙරළ තීරවලින් මළ සිරුරු කිහිපයක් සොයා ගන්නා ලදි. එක් මළ සිරුරක් ජුලි 26 වැනි දින වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී සොයා ගත් අතර සිරුරේ කිසිඳු පෙනෙන තුවාලයක් නොතිබූ බව පොලිසිය ප්‍රකාශ කරන ලදි. මේ අතර තවත් මළ සිරුරක් අගෝස්තු 5 වැනි දින වත්තල දික්ඕවිට වෙරළ තීරයෙන් සොයා ගැනිණි. නාඳුනන පිරිමි පුද්ගලයා අවුරුදු 30-40 අතර වයස්වල පසුවන බවත්, බෙල්ල සහ අත පය කපා තිබූ බවත් පොලිසිය පවසයි.
පසුගිය ජූලි 29 වැනිදා ගාලුමුවදොර වෙරළට ගොඩගැසූ මළ සිරුර කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුගේ බව හඳුනාගෙන ඇත. පැය 72 කට පමණ පසු වයස අවුරුදු 40 ක් පමණ යැයි සැලකෙන තවත් නාඳුනන පිරිමියෙකුගේ මළ සිරුරක් ද ගාලුමුවදොර වෙරළට ගොඩගසන ලදි.
පොලිසිය තවමත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් චේතනාවන් හෙළි කොට හෝ අත්අඩංගුවට ගැනීම් ප්‍රකාශයට පත් කොට හෝ නොමැත. පාතාල කල්ලි ගැටුම්වල සිට රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ ඝාතන දක්වා මරණවලට හේතුව වශයෙන් විවිධ අනුමාන කිරීම් මේ වන විට පැතිරෙමින් පැවතුන ද සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය කරුණු මත පදනම් වූ පිළිතුරක් ලබා දීමට අපට දැනට හැකියාවක් නොමැත.
වැඩිදුර කියවීම්
අපෙන් ප්‍රශ්න අසන්න!
ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හි #AskWatchdog හෑෂ්ටෑගය භාවිත කර, අපට පෞද්ගලික පණිවුඩයක් යොමු කර හෝ එම සමාජ මාධ්‍ය තුළ අපව ටැග් කර ප්‍රශ්න අසන්න.