විදුලි කප්පාදු කතාවස්තුව - අනාගැනීමේ ඉතිහාසය හා අනාගතය

පවතින විදුලි බල අර්බුධයට හේතුව කුමක්ද? විසඳුමක් නැත්තේ ඇයි? මේ ලිපියේ අපි රටේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලු අංශ ගවේෂණය කරන්න උත්සාහ කර ඇත. රටේ තිබෙන බලාගාර, ඒවායේ ජනනය වන මෙගාවොට් ප්‍රමාණය, හා ඉන්ධන සැපයුමට වෙච්ච දේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න.

@January 23, 2022

Read this article in English | தமிழ்

විශ්ලේෂණය - යුධංජය විජේරත්න සංස්කරණය - අයිෂා නසීම් පරිවර්තනය - මොහමඩ් ෆෛරූස් හා නඩීම් මජීඩ්

විදුලි බලය සම්බන්දයෙන් අවිනිශ්චිත හා අවාසනාවන්ත තත්වය උදාවුනේ කෙසේද?

ජනවාරි 10 දින සංකීර්ණ කාලසටහනක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ එම කාලසටහනට අනුව විදුලි බලය විසන්ධිකිරිම සිදුවන බවයි. මුලාශ්‍රය අනුව මෙම විදුලි බල විසන්ධි කිරීමේ පියවරට යොමුවීමේ හේතුව වෙනස්වුනි. බොහෝ පුවත්පත් වල වාර්තා වුනේ කැලණිතිස්ස බලාගාරයේ කොටසක් ලෙස සැලකෙන මෙගාවොට් 163 සපයන සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් නිසා විදුලි සැපයුමට බාධා එල්ලවූ බවයි. අප කල විමසීම් වලදී හෙලිවුයේ මෙම තත්වයට හේතුවූ කාරණා, විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරන ලද කාලසටහන මෙන්, පුළුල් හා සංකීර්ණ වන බවයි. විදුලි ජනන ධාරිතාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට මෙගාවොට් 800 ප්‍රමාණයක් අහිමිවූ බව හෙලිවුනි.

විවිධ අවස්ථාවල කැලණිතිස්ස, කුකුලේ ගඟ හා කෙරවලපිටිය (මතභේදකාරී යුගදනවී බලාගාරය ඇතුළුව) බලාගාරවල මෙහෙයුම් ඇනහිටී ඇති බව වාර්තා වුනි. ඒ අතරම සපුගස්කන්දේ හා කොළඹ වරායේ තෙල් හිඟයක්ද ඇති වුනි.

ප්‍රසිද්ධියේ කල ප්‍රකාශ අනුව පවතින යටිතල පහසුකම් මෙහෙයවීම සඳහා අවශ්‍ය තෙල් සැපයුම ලබාගැනීම පිළිබඳව විදුලි බල මණ්ඩලය අවිනිශ්චිත බවක් පෙන්නුම් කළේය. විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති A.G.U. නිශාන්ත පැවසුවේ ඒවනවිටත් ගෙවිය යුතු රුපියල් බිලියන 91ක මුදලින් රුපියල් බිලියන 18ක මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවත් ඉන්ධන මිලදීගැනීමට නොහැකිවීම හේතුවෙන් අනාගතයේදී දීර්ඝ කාලීන විදුලි කප්පාදු බලාපොරොත්තු විය හැකි බවයි. නමුත් ඊට පසුදින හදිසි රැස්වීමක් කැඳවමින් ජනාධිපතිවරයා අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දෙන බවට සහතික වුණා. විදුලි බල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 18ක මුදල ගෙවීමටත්, විදුලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යතා සඳහා ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග සඳහා මහා බැංකුව විසින් විදේශ විනිමය නිදහස් කිරීමටත්, එකී පාර්ශව එකඟතාවයන් ඇති කරා. විදුලි බල මණ්ඩලයට යම් ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ අතර, විදුලි කප්පාදු සිදු නොවන බවට විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය.

දේශපාලන අධිකාරියේ හා නිලධාරීන්ගේ පොරොන්දු නොතකා විදුලි බල කප්පාදුවීමේ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත. ජනවාරි 14 දිනට පෙර සතියේ සිදුවූ විදුලි කප්පාදු පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා අප විසින් මහජන සමීක්ෂණයක් පැවැත්වුවා. එම කාල පරිච්චේදය තුල විදුලි කප්පාදු වලට මුහුණ දුන් ජනයාගෙන් අපි අසා සිටියේ විදුලිය කප්පාදුවූ දින ගණනයි, දිනකට විදුලිය විසන්ධි වූ පැය ගණනයි. ඒ සංඛ්‍යා දෙක වැඩිකිරීමෙන් අපට නැතිවූ විදුලි බල සැපයුම් පැය ගණන පිළිබඳව එස්තමෙත්තු ඉදිරපත් කිරීමට හැකි වුනා.

මේ සමීක්ෂණයට සහභාගී වුනේ පුද්ගලයින් 93යි. සමීක්ෂණය සලකා බැලු කාල වකවානුව ජනවාරි 7 දින සිට ජනවාරි 14 දින දක්වාය. සිතියමේ අනුරුපනය වන්නේ සමස්ත විදුලි කප්පාදු වූ පැය ගණනේ සාමාන්‍ය අගය (වර්ණ තීව්‍රතාවය) හා ඒ ඒ ප්‍රදේශයේ විදුලි කප්පාදු වාර්තා කල පුද්ගලයින් සංඛ්‍යාවයි (පොකුරේ තරම).

රටේ සිදුවූ දේ

සමීක්ෂණය අර්ථකථනය කිරීමට පෙර අපි සන්දර්භය සලකා බැලිය යුතුයි. විදුලි බල කප්පාදුවක් සිදුවූ විට එය සාමාන්‍යයෙන් ප්‍රදේශයක වැසියන් කිහිපදෙනෙකු මමුහුණපාන තත්වයක් වේ. ඒ හේතුවෙන් මෙම සමීක්ෂණයේදී එක පුද්ගලයෙක් විදුලි බල කප්පාදුවක් වාර්තා කරන විට, එයින් අපට යම් නිගමනයකට එළඹිය හැකි වේ. නමුත් මෙම සමීක්ෂණයෙන් සමස්ත බලපෑම නිගමනය කිරීමේ හැකියාවක් නැත. මෙයින් පෙන්වාදෙන්නේ ඒ බලපෑමෙන් ඉතා කුඩා කොටසක් පමණි.

දෙවනුව, මෙම සිතියමේ පෙන්වා ඇත්තේ සමීක්ෂණයට සහභාගී වුවන්ගේ ලිපින නොවේ. සමීක්ෂණයට පුද්ගලයින් 200 දෙනෙකු උත්තර සැපයු අතර, OpenStreetMap මෙවලම හරහා මාර්ගයක හෝ මංසලකුණක අක්ෂාංශ හා දේශාංශ ලබාගත හැකි පරිදි දත්ත ඇති ලිපින ලබා දුන්නේ පුද්ගලයින් 93න් දෙනෙකු පමණයි (උත්තර සැපයුවන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමේ අවශ්‍යතාවය මත අප මෙම ප්‍රවේශයට යොමුවුනා). ඒ හේතුවෙන් ඇතැම් ස්ථානයන් හා සමීක්ෂණයට සහභාගිවුවන්ගේ පිහිටිස්ථානය අතර සුළු වෙනස්කම් තිබිය හැකිය.

1. රට පුරා ප්‍රදේශ කිහිපයක දෛනිකව පැයකුත් පැය 3ක් අතර කාලයක් විදුලිය කප්පාදු කර තිබේ. වවුනියා ප්‍රදේශයේ ඇතැම් අවස්ථාවල පැය 7ක් දක්වා විදුලි කප්පාදු සිදු විය. සියලු පළාත් ආවරණය වන පරිදි දත්ත නොලැබුනද, උතුරු, බස්නාහිර, දකුණු හා මධ්‍යම පළාත්වලින් හා නැගෙනහිර පළාතේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශ වලින් ලැබුණු දත්ත වල විහිදීම සලකා බලන විට, දිවයින පුරා විදුලිය කප්පාදු වූ බව නොඅනුමානයි.

2. වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ වවුනියාවට බව මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. එක් ප්‍රදේශයක  පමණක් දෛනිකව දවස් 7ක කාලයක් පුරා පැය 7ක්, එනම් සතියට පැය 49ක්, විදුලිය කප්පාදු වී ඇති බව පෙනී යයි. මෙම දත්ත සපයා ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බැවින්, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. නල්ලුර් ප්‍රදේශයේ පැය දෙකක විදුලි කප්පාදු වාර්තා කර ඇති අතර, චාවකච්චේරි ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු සපයපු පිළිතුරු වලට අනුව, එක් අයෙක් පැය දෙකක විදුලි කප්පාදුවලට මුහුණ දී ඇති අතර, අනෙක් අවස්ථාවේ පැය 9ක විදුලි කප්පාදුවක් වාර්තා කර ඇත.

3. සමීක්ෂණයට වැඩියෙන්ම පිළිතුරු ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මෙහිදී විවිධ පිළිතුරු සැපයුනා. දෙහිවල - ගල්කිස්ස හා අවට ප්‍රදේශවල ඇතැමුන් පැය 3ත්, 6ත්, අතර විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇති අතර, සමීපව වෙසෙන පුද්ගලයින් කිහිපදෙනෙකු පැය 12, 14 හා 30ක විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇත. ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානවලට සමීපව වෙසෙන්නන්ට මෙවැනි දීර්ඝ කප්පාදුවීම්වලට මුහුණදීමට සිදු නොවුන බවට අනුමාන කල හැක. කළුබෝවිල ප්‍රදේශයේ පැය 3ක විදුලි කප්පාදුවීම් වාර්තා වූ අතර, කොහුවල හා අවට ප්‍රදේශවලට පැය 6ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. කළුබෝවිල ප්‍රදේශයේ රටේ දෙවන විශාලතම රෝහල පිහිටුවා ඇති බැවින් එම ප්‍රදේශයට වැඩි බලපෑමක් නොතිබූ බව කිව හැක. රත්මලාන ප්‍රදේශයේ ඇතැමුන් පැය 6ක් විදුලි කප්පාදුවලට මුහුණදී ඇති අතර, ඇතැමුන් පැය 10ක විදුලි කප්පාදුවීම් වලට මුහුණදී ඇත. මොරටුව ප්‍රදේශයෙන් පැය 4ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත.

4. කෝට්ටේ ප්‍රදේශයෙන් ලැබුණු ප්‍රතිපල වලට අනුව, නාවලට සමීපව පැය 21ක් විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇති අතර, රාජගිරියෙන් පැය 2ක් විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. නගරාසන්න ප්‍රදේශවල අඩුවෙන් විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇත.

5. මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේ ආපිකෝ වෙළඳසැල ආසන්න ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනේ. එම ප්‍රදේශයෙන් පැය 28ක් විදුලිය කප්පාදුවීම වාර්තා වී ඇති අතර, හයි ලෙවල් පාර අසන්න ප්‍රදේශවල වාර්තා වුනේ පැය 4ක විදුලි කප්පාදුවීමක්. හෝමාගම ප්‍රදේශයෙන් පැය 9ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත.

6. දකුණේ උණවටුන අවට ප්‍රදේශවලින් පැය 3ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. මාතර, කඩවත් සතර ප්‍රදේශයෙන් පැය 3ත්, 7ත්, අතර කාලයක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. වෙරළාසන්න ප්‍රදේශවල විදුලි කප්පාදුවීම් වල අඩුවක් පෙනේ. තවලම හා තිහාගොඩ ප්‍රදේශවලින් පැය 7ක විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇත.

7. ඌව පළාතේ, වැල්ලවාය ප්‍රදේශයෙ පැය 18ක් විදුලිය කප්පාදු වූ බව වාර්තා වූ අතර, නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තු හා කල්මුනේ ප්‍රදේශවලින් පැය 6ක විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇත.

8. මහනුවර නගරාසන්න, ගඟවට කෝරලේ ප්‍රදේශයෙන් පැය 10ත්, 14ත්, අතර විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇති අතර, කොත්මලේ, යටිනුවර හා උඩ පළාත ප්‍රදේශවලින් පය 2ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත.

දිවයින පුරා සිදුවූ විදුලි කප්පාදුවීම් වල අසම ව්‍යුහයක් පෙනෙන අතර භූගෝලීය විහිදීම සලකන විට විෂමතා කිහිපයක් මතුවේ.

බොහෝ පුද්ගලයින් මෙම විදුලි කප්පාදුවීම්වලට මුහුණ දී ඇත්තේ දින 2ක් හෝ 3ක් අතර කාලයක් තුලදීය.

💡
මේ සමීක්ෂණය පැවැත්වුවේ ජනවාරි මාසයේදීය. ට්විටර් වෙබ් අඩවියේ @ishanmarikar, විදුලි බල මණ්ඩලයේ API භාවිතා කොට සැලසුම් කර ඇති විදුලි කප්පාදු පෙන්වන, යාවත්කාලීන කර සිතියමක් නිර්මාණය කර ඇත. මෙය ප්‍රයෝජනවත් වන අතර යථාර්තය හා විදුලි බල මණ්ඩලයේ කාලසටහන් අතර පරස්පරතා ඇතිවීම සුලභ සිදුවීමක් වන බව මතක තබා ගත යුතුයි.

අපට විදුලිය ලැබෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ විදුලි බල ජනනය පිළිබඳව අවබෝධ කර ගැනීමට අපි ප්‍රධාන වශයෙන් මුලාශ්‍ර තුනක් භාවිතා කරා. අතීත තත්වය පෙන්වන විදුලි බල මණ්ඩලයේ 2019 වාර්ෂික වාර්තාව, අනාගත සැලසුම් හා ඓතිහාසික ප්‍රවනතාවයන් සලකා බැලෙන විදුලි බල මණ්ඩලයේ ජනන සැලසුම් අංශය විසින් සම්පාදනය කරන දීර්ඝ කාලීන ජනන සැලැස්ම හා බලාගාර වල දත්ත ගබඩාවක් පවත්වාගෙනයන ග්ලෝබල් එනර්ජි මොනිටර් (Global Energy Monitor) ආයතනය සතු දත්ත.

පහත සිතියමෙන් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ විදුලි බල ජනන පද්ධතියයි.

image

මෙය අවබෝධ කරගැනීමේ කාර්‍යය ලෙහෙසි කරමු. රටේ විදුලි බල ජනනය සඳහා මුලාශ්‍ර තුනක් භාවිතා වේ - තෙල් හෝ ගල් අඟුරු භාවිතාකරන තාප විදුලි බලාගාර, ජල විදුලි බලාගාර හා පුනර්ජනීය විදුලි බලාගාර. විදුලි බල මණ්ඩලයට බලාගාර කිහිපයක් අයිති වන අතර, ජාතික පද්ධතියට විදුලිය සපයන ස්වාධීන, පුද්ගලික අංශයට අයත් බලාගාර (IPPs)  කිහිපයක්ද රට තුල ක්‍රියාත්මක වේ.

Power generation, high-level overview

SourceCapacity (MW)
CEB Renewables
1382.85
CEB Thermal
1559.1
Independent
638.8

ජනන සැලසුමේ ස්වාධීන තාප විදුලි ධාරිතාව මෙගාවොට් 614ක් හා ස්වාධීන පුනර්ජනීය විදුලි ධාරිතාව මෙගාවොට් 683ක් ලෙස සඳහන්වුවද, මණ්ඩලයේ තිබෙන දත්ත පරිශීලනය කිරීමේදී අපට ඒ සඳහා නිශ්චිත අගයන් ලබාගැනීමට නොහැකි වු අතර, අදාල පුනර්ජනීය බලාගාර ස්ථානගතකිරිමටද නොහැකි වුයේය.

ඒ හේතුවෙන් ලබාගත හැකි දත්ත පදනම්කොට මෙම පද්ධතියේ සවිස්තරාත්මක චිත්‍රයක් ලබාගැනීමට උත්සහ කරමු. මෙම බලාගාර තනි හෝ සංකීර්ණ මධ්‍යස්ථාන (Station/Complex) ලෙස සංවිධානය කර ඇත. ඒ ඒ මධ්‍යස්ථානයේ විදුලිය ජනනය කරන බලාගාර කිහිපයක් තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් නව ලක්ෂපාන බලාගාරය ලක්ෂපාන සංකීර්ණය තුල ක්‍රියාත්මක වන එක් බලාගාරයක් වේ.

පහත වගුවෙන් පෙන්වන්නේ විදුලි බල මණ්ඩලයට අයත් තාප විදුලි බලාගාර හා ඒවායින් ජනනය වන මෙගාවොට් (MW) ප්‍රමාණයයි.

CEB Thermal Plants and Output

Station / ComplexPlant NameInstalled capacity (MW)
Norocholai
Unit 1
300
Norocholai
Unit 3
300
Norocholai
Unit 2
300
Other
Mathugama  (Emergency)
20
Sapugaskanda
Sapugaskanda - B
80
Kelanitissa
Kelanitissa Frame V GTT
80
Other
Thulhiriya (Emergency)
10
Kelanitissa
Kelanitissa GT - 07
115
Other
Kolonnawa  (Emergency)
20
Other
Barge Mounted
62.4
Sapugaskanda
Sapugaskanda - A
80
Kelanitissa
Kelanitissa CCPP – GT
110
Kelanitissa
Kelanitissa CCPP – ST
55
Other
Uthuru Janani
26.7

පහත වගුවෙන් පෙන්වන්නේ විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාරවල ධාරිතාවයි.

CEB Renewable Plants and Output

Plant NameStation / ComplexInstalled capacity (MW)
Small hydro (Udawalawa and Inginiyagala)
Samanalaweva
17.25
Nilambe
Mahaweli
3.22
Kotmale
Mahaweli
201
Randenigala
Mahaweli
122
Rantambe
Mahaweli
49
Polpitiya
Laxapana
90
Wimalasurendra
Laxapana
50
Canyon
Laxapana
60
Upper Kotmale
Mahaweli
150
Bowatenna
Mahaweli
40
New Laxapana
Laxapana
100
Victoria
Mahaweli
210
Old Laxapana Stage II
Laxapana
25
Kukule-Ganga
Samanalaweva
75
Samanalawewa
Samanalaweva
120
Old Laxapana Stage I
Laxapana
28.8
Ukuwela
Mahaweli
38.6
Mannar Wind Park
Mannar Wind Park
103.5

මිට අමතරව IPP හෙවත් ස්වාධීන, පුද්ගලික අංශයට අයත් බලාගාර කිහිපයක්ද ක්‍රියාත්මක වේ. උදාහරණයක් වශයෙන් මේ දිනවල ප්‍රවෘත්ති වල නිතරම සඳහන් වන සොජිට්ස් බලාගාරය කැලණිතිස්ස සංකීර්ණයේ කොටසක් වුවද පරිපාලනය ගත් විට එය එම සංකීර්ණයට පිටින් පෞද්ගලිකව ක්‍රියාත්මක වන බලාගාරයක් වේ.

*මෙම බලාගාර වල ගිවිසුම් අප්‍රේල් 2021 අවසන් වීමට නියමිතව තිබුණි.

සමස්තයක් වශයෙන් රටේ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 3,580.75ක් වේ. මීට අමතරව තවත් මෙගාවොට් 600ක පමණ ධාරිතාවක් තිබිය හැකි නමුත් වාර්තා කර ඇති දත්ත හරහා මේ සම්බන්දයෙන් අපට නිගමනයකට එළඹීමට නොහැක.

විදුලි බල මණ්ඩලයේ සංඛ්යානමය ප්‍රකාශන හා පද්ධති පාලන මධ්‍යස්ථාන වාර්ෂික වාර්තා තුලින් අපට පිළිඹිඹු වන්නේ දැනට පවතින ධාරිතාව, වාර්ෂික උච්ච ඉල්ලුමට මුහුණදීමට ප්‍රමාණවත් වන බවයි.

2006 සිට වාර්ෂික උච්ච ඉල්ලුම පහත වගුවෙන් පෙන්වාදී ඇත.

Demand by year

YearPeak Demand
2006
1,893
2007
1,842
2008
1,922
2009
1,868
2010
1,955
2011
2,163
2012
2,146
2013
2,164
2014
2,152
2015
2,283
2016
2,453
2017
2,523
2018
2,616
2019
2,669
2020
2,717

ඉල්ලුම හා ආර්ථික වර්ධනය අතර යම් සමාන්තරබවක් පවතින බව නොඅනුමානයි. ආර්ථිකය වර්ධනය වීමත් සමඟ බල ශක්තිය සඳහා ඇති ඉල්ලුමද වැඩිවේ.

image

පුනර්ජනීය බලශක්තිය ගත්කල ජල ශක්තියද ඊට අයත් වන අතර, සුර්ය බලය, සුළං බලය හා ජෛව ස්කන්ධය වැනි සාමාන්‍යයෙන් පුනර්ජනීය බලශක්ති ප්‍රභේද ලෙස සැලකෙන බලශක්ති මුලාශ්‍ර හරහා විදුලි ජනනය පුළුල් කිරීම තවමත් ඇත අනාගතයේ සිදුවීමට නියමිතව ඇත. කෙසේවෙතත් උච්ච ඉල්ලුම සැපයීමට දැනට පවතින බලශක්ති යටිතල පහසුකම් රාමුව ප්‍රමාණවත් වන බවක් අපට පෙනී යයි.

එසේනම් වර්තමාන තත්වයට හේතුවුයේ කුමක්ද?

පළමුව, ඉන්ධන හා රජයේ පෙරදැක්මේ අඩුපාඩු.

  1. ඉහත දත්ත වලින් පෙන්වෙන පරිදි රටේ ප්‍රධාන විදුලි බල මුලාශ්‍රය වන්නේ තාප විදුලියයි. ජල ශක්තිය දෙවන ස්ථානය ගනියි.
  2. විදුලි බල මණ්ඩලය සතුව ප්‍රමාණවත් ධාරිතාවක් තිබුනද, ජනනය කල හැකි මෙගාවොට් ප්‍රමාණය තීරණය වන්නේ ඉන්ධන සැපයුම මතයි. 2021 වර්ෂයේ විදේශ විනිමයේ හිඟයක් ඇතිවීමත් සමඟම මුදල් අමාත්‍යංශය ඉන්ධන ආනයන සීමා කිරීමට පියවර ගත්තා. 2019 වර්ෂයේ රජය ඉන්ධන ආනයන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3,677ක් වියදම් කර අතර, 2020 වර්ෂයේ වියදම් කලේ ඩොලර් මිලියන 2,325ක් පමණයි. එසේවුවුද, වියදම් කල ඩොලර් ප්‍රමාණයට සාපේක්ෂව රටට ලැබුණු ඉන්ධන ප්‍රමාණය අඩුවුණා; හේතුව - ඒ වන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වැඩිවී තිබුණි.
  3. ඉන්ධන තොග සීමා වීමත් සමඟම 2022 ජනවාරි මස පළමු සති දෙක තුල විදුලි බල මණ්ඩලය කිහිප වතාවක් ඉන්ධන හිඟය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරා. එම මණ්ඩලය මුලින්ම පැවසුවේ කැලණිතිස්ස බලාගාරයේ තෙල් ගබඩාව ලීටර් මිලියන 3.5ක් වූ බවත්, එය දවස් දෙකකට පමණක් ප්‍රමාණවත් වන බවයි. ඉන්පසුව එම මණ්ඩලය පැවසුවේ ජනවාරි 18 වන විට ඉන්ධන තොග සිඳී යන බවයි. ජනවාරි සිට මේ දක්වා අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳව පවතින්නේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්.
  4. අත්‍යාවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්දයෙන් විදුලි බල මණ්ඩලයද පෙරදැක්මක් නොමැතිව ක්‍රියාකරන බවක් පෙනී යයි. උදාහරණයක් වශයෙන්, විදුලි බල මණ්ඩලය ඉන්ධන අවශ්‍යතාව පිළිබඳව තෙල් සංස්ථාවට කල් තියා දැනුම්දිය යුතු බව, අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කරා. ඉන්ධන තොග පිළිබඳව බලධාරීන් ප්‍රදර්ශනය කර ඇති නොදැනුවත්කම විශ්වාස කල නොහැකිය. විදුලි බල මණ්ඩලයේ ඉන්ධන හිඟය පිළිබඳව අපද සති කිහිපයකට පෙර දැනුවත්ව සිටි අතර, EconomyNext වෙබ් අඩවිය පුරෝකථනය කලේ ජනවාරි 24 වන විට ඉන්ධන තොග සිඳී යන බවයි.
  5. ඉන්ධන සඳහා වන ඉල්ලුම හා බලාගාර අක්‍රිය වීම සම්බන්දයෙන් ලංකා විදුලි බල මණ්ඩලය කරපු පළමු සෙල්ලම මෙය නොවේ. 2021 වර්ෂයේ, නොරොච්චෝලේ බලාගාරයේ එක් අධියරයක් අක්‍රීය වීමත් සමඟම ජාතික පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වුනි. මෙම හිඟය පුරවාගැනීම සඳහා කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවට නැංවූ අතර, මේ තුලින් තෙල් සඳහා ඉල්ලුම වැඩිවී, තෙල් හිඟයක් ඇති වූ අතර, වරින් වර විදුලිය කප්පාදුවීම්ද වාර්තා වුණා.
  6. ඇවිලෙන ගින්නට පිදුරු දමමින් විදුලි බල මණ්ඩලයේ සේවකයින් එම ආයතනයේ කළමනාකරණය පිළිබඳව අප්‍රසාදය පළකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවන බවට තර්ජනය කර ඇත. මේ වන විට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම දික් කර ඇති අතර, M.R. රණතුංග සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළකරමින්, වෘත්තීය සංගම් පවසා ඇත්තේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි. රණතුංගගේ ධුර කාලය ජනවාරි 13 දින අවසන් වීමට නියමිතව තිබුණි. වෘත්තීය සංගම් ප්‍රධාන වශයෙන් සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධ වීමට හේතුව වන්නේ ඔහු, යුගදනවී බලාගාරයේ කොටස් New Fortress සමාගමට විකුණා විදුලි බල මණ්ඩලයට වසර 10ක කාලයක් සඳහා LNG ඉන්ධන සැපයුම් කොන්ත්‍රාත්තුව, එම සමාගමට ලබාදීමේ එකඟත්වයට පක්ෂ වන බැවිනුයි.

දෙවනුව, සල්ලි

  1. විදුලි බල මණ්ඩලය ඉන්ධන ලබාගන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙන්ය. මණ්ඩලය සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 91ක් වේ. සංස්ථාව හා අමාත්‍යවරයා පසුගියදා පැවසුවේ ඩොලර්වලින් ගෙවීම් සිදුකිරීමට අසමත්වුවහොත් ඉන්ධන සැපයුම අත්හිටුවන බවයි. ඛනිජ තෙල් සංස්ථාවද ණය බරින් පෙලෙන ආයතනයක් වේ. මාස 7ට පෙර ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ ප්‍රකාශ වලට අනුව ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 652ක් වේ. මෙවැනි චක්‍ර ණය පද්ධතියක් පවත්වාගෙන යාම ඉතාමත් අවිඥාන ක්‍රියාදාමයක් බව අමුතුවෙන් කිව යුත්තේ නැත.
  2. විදුලි බල මණ්ඩලයේ මුදල් ප්‍රශ්න අවබෝධ කරගැනීමට උත්සාහ කර විට 2019 වාර්ෂික වාර්තාවේ සභාපතිවරයාගේ පණිවුඩය දෙසට අපේ අවධානය යොමු වුනි. “..1990 වර්ෂය සිට වසරේ මුල්භාගයේ අඩුම වර්ෂාපතනය වාර්තා වුනේ 2019 වර්ෂයේදීය. ඒ හේතුවෙන් ප්‍රධාන ජලාශ වෙතට ගැලුණු ජලයේ අඩුවක් දක්නට ලැබුණි. එහි ප්‍රතිපලයක් ලෙස මහා පරිමාණ හා සුළු පරිමාණ ජල ශක්ති බලාගාර හරහා ජනනය කිරමට හැකිවුයේ ගිගාවොට් පැය 4,794.5ක් පමණි. පසුගිය වර්ෂයත් සමඟ සසඳන විට ජල ශක්ති විදුලි ජනනයේ 24.9%ක අඩුවීමක් පෙනී යයි. ජල ශක්ති විදුලි ජනනය අඩුවීමත් සමඟම තාප විදුලි ජනනය මත යැපීමට විදුලි බල මණ්ඩලයට සිදුවුහ. වර්ෂය අවසන් වන විට තාප විදුලි ජනනය 65%ක අගයක පැවති අතර, 2018 වර්ෂය සමඟ සසඳන විට එය 10.6%ක වර්ධනයක් පෙන්නුම් කරයි. විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් බාහිර කාරණා හේතුවෙන් ජනන මිශ්‍රයේ, පිරිවැය වැඩි තාප ශක්තිය සඳහා වැඩියෙන් යොමුවූ අතර, එය විදුලි ජනන පිරිවැය හා විකුණුම් මිල අතර පරතරයද පුළුල්වීමට හේතු වුනි. විකුණු සැම ඒකකයකටම විදුලි බල මණ්ඩලය දැරූ පාඩුව රුපියල් 5යි සත 85ක් වේ. ඉහලයන පාඩු සමඟ විදුලි බල මණ්ඩලයේ මුල්‍ය තත්වයට අහිතකර බලපෑමක් එල්ලවුනි. විදුලි බල මණ්ඩලයේ පිරිවැයට සරිලන ගාස්තුවක් නියම කිරීමේ කාර්‍යය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට භාරදී තිබුනද, 2014 සිට මෙය සිදුවී නැත. තවද, රජයේ අණ පරිදි බොහෝ පාරිභෝගික කණ්ඩායම් සඳහා දිගින් දිගටම අඩු මුදලකට විදුලිය සැපයීමට පියවර ගෙන තිබේ. ඒකකයක් ජනනය කිරීම සඳහා දරන සාමාන්‍ය පිරිවැයට අඩු මිලකට පාරිභෝගිකයින්ට විදුලිය සැපයීමට සිදුවී ඇත. තවද රජයේ පිහිටාධාර සඳහා මුදල් ආපසු ගෙවීම සිදු නොවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට තවත් ණය ගැනීමට සිදුවී ඇත. ඒ හේතුවෙන් 2019 වර්ෂයේ මුල්‍ය වියදම් ලෙස රුපියල් බිලියන 22.5ක විශාල මුදල් ප්‍රමාණයක් වැයවී ඇත.
  3. පාරිභෝගිකයින්ටද විදුලි බල මණ්ඩලයට කාලීනව ගෙවීම් සිදුකිරීමට නොහැකි වී තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ, වසංගතයේ ආරම්භයේ සිට මේ වන විට විදුලි බල මණ්ඩලයට පාරිභෝගිකයින් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන් 43ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙම මුදල් නොලැබීම හේතුවෙන් ණය උගුල තවත් උග්‍ර වී ඇත.
  4. සත්‍ය පිළිගැනීමට කැමති වුවද අකමැති වුවද, රටේ දැන් පවතින ආර්ථික අර්බුදය පැහැදිලියි. ජනවාරි 17 දින The Island පුවත්පත වාර්තා කලේ පසුගිය බදාදා (12) දින විදුලිබල මණ්ඩලය තෙල් ලීටර් මිලියන 10ක් ඇනවුම් කර අතර, ඊට පසු දින තවත් ලීටර් මිලියන 15ක් ද ඇනවුම් කර ඇති බවයි. තෙල් රැගත් නැව් 5ක් කොළඹ වරායට ලඟා වූ අතර ඩොලර් හිඟය නිසා එම තෙල් තොග නිදහස් කිරීමට නොහැකිවී තිබුණි.

තෙවනුව, බලාගාරවල අඩුවක්

  1. 2016 සිට නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල සැපයුමේ අර්බුදයක් ඇතිවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා ඇත. මීට එක් හේතුවක් වුයේ 2007 කෙරවලපිටිය හා නොරොච්චෝලේ බලාගාර, පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව නව බලාගාර එක්කිරීමට විදුලිබල මණ්ඩලය අසමත් වී ඇති බැවිනුයි. මේ සම්බන්දයෙන් වාර්තා කල Daily FT පුවත්පත පැවසුවේ, මේ සම්බන්දයෙන් පියවර ගැනීමටත් තාවකාලික විසඳුමක් ලෙස පොරොත්තු ජනන යන්ත්‍ර හරහා විදුලිය මිලදී ගැනීමටත් 2019 නිකුත් කල කැබිනට් පත්‍රිකාවක් ක්‍රියාවට නැංවීමට බලධාරීන් අසමත් වූ බවයි. එහිදී වැඩිදුරටත් සඳහන් වුයේ 2019 මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම්ව තිබිය යුතු මෙගාවොට් 300 කෙරවලපිටිය බලාගාරයට අමතරව, 2011 සිට දීර්ඝ කාලින ජනන සැලසුම් වල ඇතුලත් වූ කිසිඳු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා නොමැති බවයි. 2018 හා 2019 ධාරිතාවේ හිඟයක් ඇතිවිය හැකි බවත්, 2015-2022 අතර වාර්ෂිකව විදුලි බලය සඳහා ඇති ඉල්ලුම %5.5න් වැඩිවන බව, මහජන උපයෝගිතා කොමිසම පුරෝකථනය කර ඇත. මෙම අනතුරු ඇඟවීම් නොතකා හැරී ඇති බව වත්මන් තත්වය සලකා බලන විට හැඟී යයි.
  2. එම පුවත්පත් වාර්තාවේම පෙන්වාදී ඇත්තේ, එවකට බලශක්ති හා පුනර්ජනිය බල අමාත්‍යාංශය විසින් මෙම අනාවැකි සම්බන්දයෙන් ක්‍රියාකරන මෙන් නියෝග කල බවයි. ගාල්ලේ මෙගාවොට් 100ක ධාරිතාවක් ඇති පාවෙන පර්යන්තයක්, ත්‍රිකුණාමලයේ හෝ පුත්තලමේ එවන් ධාරිතාවක් ඇති තවත් පාවෙන පර්යන්තයක් හා සුර්ය ශක්ති බලාගාර තුනක් ඇතුළුව බලාගාර 13ක් පද්ධතියට එක් කිරීමට නියමිතව තිබුණි. එහෙත් මේ සම්බන්දයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනුණි.
  3. 2019 දී නීතිවිරෝධීව විදුලි බල සැපයුම අත්හිටුවීම සම්බන්දයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන උපයෝගිතා කොමිසම ක්‍රියාත්මක වුනා. එහෙත්, එවකට බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වූ රවී කරුණානායක මැදිහත්වී කියා සිටියේ විදුලි බල කප්පාදු සිදුනොවෙන බවට සහතික වන බවයි. ඉන් කෙටි කලකට පසු ඔහු පැවසුවේ විදුලි බල කප්පාදු වලට හේතුවුයේ නියඟය හා මහවැලි ව්‍යාපෘතියේ ජලාශ වලින් විදුලි බල මණ්ඩලයට ප්‍රයෝජනය ගැනීමට ඇති නීතිමය බාධක බවයි.
  4. සැලසුම්ව තිබු බලාගාර 13න්, 2019 මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබු මෙගාවොට් 300 කෙරවලපිටිය බලාගාරය සඳහා කොමිසමේ අනුමැතිය ලැබුනේ 2021 වර්ෂයේදීය.
  5. උච්ච ඉල්ලුම සැපයීමට සරිලන ධාරිතාවක් තිබියදී මෙම නව බලාගාර අවශ්‍ය වන්නේ ඇයි? ඊට සරල හේතුව වන්නේ පිරිවැයයි. උච්ච ඉල්ලුම සැපයීමට තාප බලාගාරවලට හැකි නමුත්, තාප විදුලි ජනනය සඳහා ඉහල පිරිවැයක් දැරීමට සිදුවේ. එම පිරිවැය පාරිභෝගිකයින්ගෙන් අයකරගැනීමට නොහැකිවීම තුලින් විදුලි බල මණ්ඩලයේ ණයබර තවත් උග්‍රවී ඇත. මෙම නව බලාගාර සැලසුම් කර තිබුනේ යම්තාක් දුරකට විදුලි ජනන පිරිවැය අඩුකිරීමෙන් ණය උගුලෙන් බේරීමට විදුලි බල මණ්ඩලයට අවස්ථාවක් ලබාදීම සඳහායි.
  6. මෙම අසමත්වීම පිළිබඳව විදුලි බල මණ්ඩලය දරන අදහස කුමක්ද? අපි නැවතත් එම මණ්ඩලයේ සභාපතිවරයාගේ 2019 වාර්ෂික වාර්තාවේ පණිවුඩය දෙසට අවධානය යොමු කරමු -

    “කිසිඳු බාධාවකින් හෝ කල්යාමකින් තොරව මිට පෙර සම්මතවූ විදුලි ජනන සැලසුම් - විශේෂයෙන්ම සැලසුම් කර තිබුණු මෙගාවොට් 300 LNG බලාගාර තුනෙන්, එකක් - 2019 වර්ෂයේදී ක්‍රියාත්මකකිරීමට පියවර ගත්තේනම්, ජනන පිරිවැය හා විකුණුම් මිල අතර පරතරය අඩුකිරීමට හැකියාව තිබුණි. කණගාටුවට, විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් බාහිර කාරණා හේතුවෙන් මෙම මෙගාවොට් 300යේ බලාගාරය ඉදිකිරීමට නොහැකිවී තිබේ. කෙසේවෙතත්, 2019 දී සැලසුම් කල බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බල මණ්ඩලය උද්‍යොගයෙන් ක්‍රියාකළ අතර, කෙරවලපිටියේ LNG බලාගාර දෙකක් හා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර සංකීරණයේ ව්‍යාප්තිය සඳහා පදනම ගොඩනැගුණි. එමෙන්ම කැලණිතිස්ස ගෑස් ටබයිම වල කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා යන්ත්‍ර සුත්‍ර යාවත්කාලීන කිරීමටත්, සුර්ය හා සුළං ශක්ති බලාගාර සිඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමටත් පියවර ගැනුනි. කාර්යක්ෂම බලාගාර කාලීනව පද්ධතියට එකතු කිරීමෙන් රජයේ සහනාධාර බර අඩුකිරීමටත්, විදුලි බල මණ්ඩලය ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට හැකිවේ. මෙහෙයුම් පිරිවැය අඩුකිරීමටත්, ලාභ වැඩිකිරීමටත් ජනන සැලසුම් කල්යාමකින් තොරව ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශවකරුවන් වහා අවධානය යොමු කරන ලෙස මම අවංකව ඉල්ලා සිටිමි.”

මෙය අලුත් තත්වයක් නොවේ.

මේ වාර්තාවලින් අපට පෙනී යන්නේ රජය විදුලි බල මණ්ඩලය සඳහා ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව, වඩාත් කාර්යක්ෂම බලාගාර ඉදිකිරිම සඳහා තිබුණු සැලසුම් ක්‍රියාත්මක නොවූ බව, හා ඉන්ධන ආනයන සීමා කිරීම තුලින් ජාතික පද්ධතියේ ඉල්ලුම දරාගැනීමට විදුලි බල මණ්ඩලයට නොහැකි වූ බවයි.

මෙය කලක් තිස්සේ පවතින ගැටලුවක්. 1980 දශකයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් සමඟ සාහසික දේශපාලන වාතාවරණයක් තිබුනද, ජාතික විදුලි පද්ධතියේ ධාරිතාව සැලකිය යුතු ලෙස වර්ධනය වුනි. 1984 හා 1988 අතර කාලය තුල ජල විදුලි බලාගාර ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මක වීම හරහා, ලක්ෂපාන හා මහවැලි සංකීර්ණ වල ධාරිතාව බෙහෙවින් වර්ධනය වුනි.

කෙසේවෙතත් 1996 වන විට, නිරන්තරයෙන් විදුලි කප්පාදුවීම්වලට මුහුණ දීමට සිදුවුණි. 2001 වර්ෂයේ මෙම තත්වය නැවතත් පැනනැගුනා. 2001 වර්ෂයේ IPS හෙවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, විසින් නිකුත් කල වාර්තාවක ද්විත්ව අර්බුද, එනම් ධාරිතා අර්බුදය හා මුල්‍ය අර්බුදය, පිළිබඳව සදහන් කෙරුණි. එම වාර්තාව අනුව වාර්ෂිකව පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් එකතුකිරීමට පියවර ගතයුතුව තිබුණි. එම 2001 වාර්තාවේ පෙන්නුම් කරන තත්වය හා වත්මන් තත්වය අතර වැඩි වෙනසක් නැහැ - “2000 හා 2001 වර්ෂයන්හි මෙහි අග්‍රඵලය වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ මිල අධික තාප බලාගාර ක්‍රියාකිරීමට සිදුවීම, පාරිභෝගිකයින් සතු පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, හා අධික මිලට කෙටි කාලීන ගිවිසුම් මත පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමයි.” මේ මාර්ගයේ අවසානය අපට දැන් පෙනේ. පිළිවෙලින් ආ ආණ්ඩු වල පෙරදැක්මක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වයට මුහුණදීමට සිදුවී ඇති බව නොඅනුමානයි. අප මුහුණපා සිටින තත්වය සංක්ෂිප්තව පෙන්වාදෙන පුරාණ යුරෝපානු කියමනක් තිබේ. එය පරිවර්තනය වෙන්නේ මෙසේයි - “ඇනයක් නැතිවීම හේතුවෙන් අශ්වලාඩම නැතිවුනා. අශ්වලාඩම නැතිවීම හේතුවෙන් අශ්වයා නැතිවුනා. අශ්වයා නැතිවීම හේතුවෙන් අශ්වාරෝහකයා නැතිවුනා. අශ්වාරෝහකයා නැතිවීම හේතුවෙන් සටන පරාජය වුනා. සටන පරාජය වීම හේතුවෙන් රාජධානියක් නැතිවුනා. මේ සියල්ල අශ්වලාඩම සවිකිරීමට ඇනයක් නැතිවූ හෙයින්.”

රටේ ඛේදජනකීය ආර්ථික තත්වය පිළිබඳව ඉදිරියේදී තොරතුරු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන අතර, අප මතක තබාගත යුතු කාරණයක් තිබේ. ඉන්ධන මිලදී ගැනීමට විදේශ විනිමය අවශ්‍ය වේ, නමුත් මේ වන විට රටට අවශ්‍ය විදේශ විනිමය අප සතුව නැත.

මේ සියල්ල විශ්ලේෂණය කිරීමේදී නිරන්තරයෙන් මතුවන කාරණයක් වන්නේ විදුලි බල මණ්ඩලයේ ඒකාධිකාර ස්වරූපයයි. රටේ සමස්ත විදුලි සැපයුම රඳා පවතින්නේ මෙම ආයතනය මතයි. විදුලි බල හා ඉන්ධන අවශ්‍යතාවය සඳහා නිසි සම්ප්‍රජන්‍යතාව හා පුරෝකථනය කිරීමෙන් මෙම ආයතනය නිරන්තරයෙන් වැලකි සිටින අතර, මෙම අකාර්යක්ෂමතාව හොඳින් පිළිඹිඹු වන අවස්ථාවක් වන්නේ 2021 නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම සමඟ පැනනැගුනු අර්බුදයයි. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ මහජන උපයෝගිතා කොමිසමට ගරහමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, තමන්ගේ ක්‍රියාකාරීත්වය එම කොමිසමේ විෂය පාත්‍රතාවට අයත් නොවන බව පවසා ඇත. ජල සැපයුම හා විදුලි සැපයුම ඇතුළුව උපයෝගිතා ක්ෂේත්‍ර සියල්ල නියාමනය කිරීම සඳහා නීතිමය වගකීම පැවරී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බැවින්  මෙවන් ප්‍රකාශ ඉතාමත් හාස්‍යජනකයි.

අනාගතයේ සිදුවන්නේ කුමක්ද?

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි. දැනට කල හැකිදේ සීමිත වුවද, 2041 දක්වා දිවෙන සැලසුමක් විදුලි බල මණ්ඩලය සතුව තිබේ. මේ ලේඛන තවමත් කෙටුම්පත් අධියරයේ පවතින අතර, දශක කිහිපයක් තුල තාප බලාගාර ඉවත් කිරීමටත් පුනර්ජනීය ශක්ති බලාගාර එකතුකිරිමටත් සැලසුම් කර ඇත.

image

මෙම සැලසුම ක්‍රියාත්මක වීම පිළිබඳව පුරෝකථනය කල නොහැක. අපට කල හැක්කේ හැකි තරම් සත්‍ය තොරතුරු ලබාදී එය විශ්ලේෂණය කිරීමට උපකාරී වීමයි. මේ රටේ සියලු පුද්ගලයින් විදුලි බල මණ්ඩලයේ යම් කොට්ඨාශයකට අයත්වන අතර, යමක් සිදුවුවහොත් එහි මුල සොයාගැනීමේ හැකියාව ජනතාවට තිබිය යුතුයි. ඇතැම් අවස්ථාවල විදුලි බල මණ්ඩලයේ කොට්ඨාශ රටේ දේශපාලනික හා පරිපාලනමය කොට්ඨාශවලට හාත්පසින්ම වෙනස් වේ. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට තමන්ගේම සිතියම් ඇති නමුත් ඔවුන්ගේ විශේෂිත දැනුම හා රටේ ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක හා පළාත් මායිම් පිළිබඳව මහජනතාවට ඇති අවබෝධය අතර හිඩැස තරණය කල යුතුයි.

දිස්ත්‍රික් මායිම් දක්වන ලංකා සිතියමක් මතට විදුලි බල මණ්ඩලයේ කොට්ඨාශ හා මායිම් සහිත එම ආයතනයේ වෙබ් අඩවියෙන් ලබාගත් සිතියමක් එක්කරමින් පහත සිතියම නිර්මාණය කර ඇත.

image

විදුලි බල මණ්ඩලයේ කොට්ඨාශ වල ඇතැම් අසමතාවයන් තිබේ. උදාහරනයක් වශයෙන් දෙහිවල හා රත්මලාන අයත්වන්නේ කොළඹ කොට්ඨාශයට නොව බස්නාහිර දකුණ 1 කොට්ඨාශයටයි. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය අයත් වන්නේ බස්නාහිර දකුණ 2 කොට්ඨාශයට, එනම් අවිස්සාවේල්ල, හොරණ හා බණ්ඩාරගම ප්‍රදේශද අයත්වන කොට්ඨාශයටයි.

මායිම් සංසන්දනය කිරීම සඳහා අප උපයෝගී කරගත්තේ, UN OCHA ආයතනයේ දත්ත හුවමාරු ව්‍යාපෘතියෙන් බාගත හැකි සිතියමේ ශේප්ෆයිල් (shapefile) එකක්. මෙම සිතියම ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කල සිතියමක් වන අතර, එහි පෙන්වා ඇති මායිම් හා විදුලි බල මණ්ඩලයේ කොට්ඨාශ පෙන්වන සිතියමේ මායිම් අතරද යම් පරස්පරතාවයන් තිබේ. තවද, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පෙන්වාදී ඇති ආකාරයට, මෙම කොට්ඨාශ මායිම්ද කලින් කල වෙනස් විය හැකි බව මතක තබා ගත යුතුයි. කෙසේවෙතත් තමන්ට විදුලිය සපයන ආකාරය හා කප්පාදු කරන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මෙය ප්‍රයෝජනවත් විය යුතුයි.

මෙම ලිපියේ අවසානය තෙක් අවධානයෙන් සිටි ඔබට අපේ සුබ පැතුම්! ඉටිපන්දම් හෝ ලාම්පු ළඟ තබාගන්න අමතක කරන්න එපා.

👥
Watchdog is an open-source research collective. Learn more about us here. Watchdog යනු විවෘත මූලාශ්‍ර පර්යේෂණ සාමූහිකයකි. අපි ගැන තව දැනගන්න. Watchdog ஒரு திறந்த மூல ஆய்வு நிறுவனம். எம்மைப் பற்றிய அறிய