පැහැදිලි කිරීම: මොකක් ද මේ හදිසි තත්ත්වය?

පැහැදිලි කිරීම: මොකක් ද මේ හදිසි තත්ත්වය?

හදිසි තත්ත්වයක් යනු කුමක් ද, එය ඔබට බලපාන්නේ කෙසේ ද සහ එය ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔබ දැන ගත යුතු දෑ මොනවා ද? අපි ඒ සංකීර්ණ නීති පහසුවෙන් තේරුම් ගත හැකි සාරාංශයකට ගොනු කර දක්වන්නෙමු.

@April 2, 2022 - click the date to select

Read this article in English | සිංහල | தமிழ்

Read this article in English | සිංහල | தமிழ்

image

කතාව: යුධංජය විජේරත්න සංස්කරණය: අයිෂා නසීම්

පරිවර්තනය: නිශාදි ගුණතිලක

ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

මේ වන විට මේ පිළිබඳව නොමඟ යවන තොරතුරු රාශියක්, යහපත් චේතනාවෙන් බිය ගන්වන පුද්ගලයන් හරහා පවා, පැතිර යමින් පවතී. එබැවින්, හදිසි තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස ඔබ දැන ගත යුතු දේ සරලව පැහැදිලි කිරීමට අපි නීතිඥයින් කිහිප දෙනෙකුට කතා කළෙමු.

මා නීතීඥයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම ලේඛනය නීතීඥයින්ගේ අදහස් ඇතිව සකස් කර තිබුණ ද, එයින් කරන්නේ දැනුම්වත් කිරීම සහ වැරදි තොරතුරු පිටුදැකීම පමණයි.

මේ මොකක් ද?

හදිසි තත්ත්වය යනු මහජන ආරක්ෂක ආඥාපනත (PSO) තුළ දක්වා ඇති ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල සක්‍රීය කරන 'ප්‍රේරකයක්' වේ. ඔබේ විමර්ශනය සඳහා මම මහජන ආරක්ෂක ආඥාපනතෙහි සම්පූර්ණ පිටපතක් මෙහි දක්වමි.

මහජන ආරක්ෂක ආඥාපනත යනු ජනාධිපතිවරයාට අසාමාන්‍ය බලයක් ලබා දෙන පැරණි නීතියකි (1947 දක්වා ඈතට දිව යන ඉතිහාසයක් ඇත). එය වසර ගණනාවක් පුරා විවිධ ආකාරවලින් ක්‍රියාවට නංවා ඇති අතර නව කොටස් එකතු කරමින් වෙනස් කොට ඇත. නමුත් ප්‍රධාන වශයෙන් මහජන ආරක්ෂක ආඥාපනත කොටස් තුනකින් සමන්විත වේ:

1. සාමාන්‍ය

හදිසි රෙගුලාසිවල ඇති බලතල භාවිත කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා පළමුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව සඳහන් කරයි. මෙය හදිසි තත්ත්ව ප්‍රකාශනය (Proclamation of Emergency) වන අතර, එය ගැසට් කළ යුතුය (දැනට කර ඇති පරිදි).

2. හදිසි තත්ත්ව රෙගුලාසි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙකුත් සියලුම නීති අභිබවා යා හැකි පුළුල් පරාසයක හදිසි තත්ත්ව රෙගුලාසි නිකුත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන රෙගුලාසි.

3. විශේෂ බලතල

මහජන සාමය පවත්වා ගෙන යාමට පොලිසිය ප්‍රමාණවත් නොවන බව හැඟේ නම්, ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි විශේෂ බලතල වේ.

මෙම බලතල අගුලු හැරිය යුතු යම් නිශ්චිත අනුපිළිවෙලක් ඇත.

හදිසි අවස්ථා රෙගුලාසිවල බලතල භාවිත කිරීමට පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස මහජන ආරක්ෂක ආඥාපනතෙහි සාමාන්‍ය කොටස අත්‍යවශ්‍යයෙන්ම ජනාධිපතිවරයාට බල කරයි.

එහි සීමාවන් ද ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි වගන්තිය යටතේ හදිසි තත්ත්ව ප්‍රකාශනයක් මාසයක් දක්වා වලංගු විය හැකිය. කෙසේ වෙතත්, එය මුළු මාසයටම වලංගු වීමට නම්, හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කොට පළමු දින 14 ඇතුළත පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතුය. මෙය දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන වගන්තියේ යි.

ඉන් පසුව, “මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා” ජනාධිපතිවරයාට, අවශ්‍ය නම්, බොහෝ දේ කළ හැකිය. ඒ අතර:

  • ඕනෑම නීතියක් සංශෝධනය කිරීම, ඕනෑම නීතියක් අත්හිටුවීම සහ වෙනස් කිරීම් සහිතව හෝ රහිතව නීති ක්‍රියාත්මක කිරීම.
  • ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට අවසර දීම.
  • ඕනෑම දේපලක් හෝ ව්‍යාපාරයක්, විශේෂයෙන්ම ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි කියනු ලබන ගොඩනැගිලි, රාජ්‍යය වෙනුවෙන් පාලනය හෝ සන්තකයේ තබා ගැනීමට හෝ අවසර දීම.
  • ඉඩම් හැර වෙනත් ඕනෑම දේපලක් රාජ්‍යය වෙනුවෙන් අත්පත් කර ගැනීම.
  • ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වීමට සහ සෝදිසි කිරීමට අවසර දීම.
  • පෙළපාලි (සහ විරෝධතා) වැනි ප්‍රසිද්ධ රැස්වීම් වැළක්වීම.
  • පුද්ගලයින් යම් ප්‍රදේශවලට ඇතුළුවීම සහ ඔවුන්ගේ වාසස්ථාන හැර යාම වැළක්වීම; විදේශ ගමන් බලපත්‍ර හෝ වෙනත් ලියකියවිලි හෝ රාජසන්තක කිරීම; ඕනෑම අයෙකු සෝදිසි කිරීම හෝ අත්අඩංගුවට ගැනීම.
  • මෙම බලතල ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද අමාත්‍යවරුන් වෙත පැවරීම හෝ පුද්ගලයින් ‘නිසි බලධරයන්' ලෙස පත් කිරීම.
  • 'නිසි බලධරයෙකු' හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සලකන ඕනෑම දෙයක් ප්‍රසිද්ධ කිරීම සීමා කිරීම; මෙයට ලිඛිත දෑ, ඡායාරූප, වීඩියෝ යනාදිය ඇතුළත් වේ; පසුකාලීන සංශෝධනවල (40 වැනි අධිකාරයේ) දැකිය හැකි පරිදි, මෙය අතිශයින්ම පුළුල් විය හැකිය [1].
  • ඕනෑම දෙයක් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කර මුළු ශ්‍රී ලංකාව සඳහාම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීම. අත්‍යාවශ්‍ය සේවා නඩත්තුවට අදාළ සියලු කටයුතු මෙහෙයවීම එම කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යයයි. 2021 දී අපි මෙම භාවිතය අත්දුටුවෙමු. ඒ වී, සහල්, සීනි සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පත් කිරීමේ දී යි.

මෙම බලතල භාවිත කිරීමට නම්, ජනාධිපතිවරයා තමාට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයකට අදාළව හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. හදිසි තත්ත්වය කල් ඉකුත් වූ විට හදිසි නීති රෙගුලාසි ද කල් ඉකුත් වේ: එසේ වන්නේ පාර්ලිමේන්තුව එය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළ විට ය.

මෙහි මූලිකම පදය වන්නේ ජනාධිපතිට හැක යන්නයි; මෙම බලතල දැන් ක්‍රියාත්මක බව එයින් අදහස් නොවේ. එම බලතල නීත්‍යානුකූලව භාවිත කිරීමට නම් පළමුව ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු වේ. මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිරිනමනු ලබන නිෂ්ප්‍රභා කළ නොහැකි මූලික අයිතිවාසිකම් කිහිපයක් ඇත:

  • සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (10 වැනි වගන්තිය) සීමා කළ නොහැක.
  • වධ හිංසා හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට හෝ දඬුවමකට හෝ ලක්නොවී සිටීමේ නිදහස (11 වැනි වගන්තිය) සීමා කළ නොහැක.
  • අධිකරණය විසින් නිකුත් කරන ලද මරණීය දණ්ඩනයකින් (13(4) වගන්තිය) හැර රාජ්‍යයට ඔබව මරණයට පත් කළ නොහැක - එබැවින්, උදාහරණයක් ලෙස, හමුදාවට ඔබට රිසි සේ වෙඩි තැබිය හැකි බවට WhatsApp හරහා පැතිරෙන කටකතා අසත්‍ය වේ.
  • ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් පිළිබඳව පැමිණිලි කිරීමට ඔබට ඇති අයිතිය (17 වැනි වගන්තිය) සීමා කළ නොහැක.

ඊළඟට විශේෂ බලතල දෙස බලමු. හදිසි තත්ත්වයක් ඇතත් නැතත් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින බලතල මේ යටතට වැටේ. නිදසුනක් වශයෙන්, මාර්තු 21 වන දින, ජනාධිපතිවරයා විසින් 40 වන අධිකාරය බලාත්මක කරන ලද අතර එමගින් ප්‍රායෝගිකව, රටේ සෑම දිස්ත්‍රික්කයකම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවන් කැඳවීම සිදුකරන ලදි.

නීතිඥ එර්මිසා ටෙගාල් විසින් මෙම ප්‍රයෝජනවත් ග්‍රැෆික් නිර්මාණය කර ඇත්තේ මෙම විශේෂ බලතල තවමත් සක්‍රීය කළ හැකි ආකාරය තේරුම් ගැනීමට ය; මේ සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු වූ දෑ පදනම් කොට ගෙන ඇත.

සීමාවන් මෙහි දී ද අදාළ වේ. මෙම විශේෂ බලතල සහිතව ඉදිරිපත් කරන නියෝග සෑම මසකම ගැසට් කළ යුතු අතර එසේ නොකළ හොත් ඒවා අවලංගු වේ. ඒවා ගැසට් නිවේදනයක් මගින් අවලංගු කිරීමට ද පුළුවන.

මෙය නීත්‍යානුකූල ද?

ඔව්. අප ජීවත් වන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යි.

මෙම නීති බ්‍රිතාන්‍ය යටත් විජිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් නිර්මාණය කොට, පසුව යුද්ධයක් කරගෙන යාම සඳහා වෙනස් කරන ලද, විධායක ජනාධිපතිවරයා රටේ බලවත්ම පුද්ගලයා බවට පත්කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය දර්ශනයකට ඈඳුණු බලතල වේ. යුද්ධයෙන් පසු, මෙම පද්ධති තවමත් ක්‍රියාත්මක වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙය මූලික අයිතිවාසිකම් සඳහා බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලියා ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ, හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ හොත් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය , ඔප්පු කිරීමේ භාරය සහ පූර්වකාරී (අතීතයට බලපාන) අපරාධ දඬුවම්, නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ වෙනස්කොට නොසැලකීම, අත්අඩංගුවට ගැනීම සඳහා වන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ රඳවා තබා ගැනීම සඳහා වන අධිකරණ අවසරය; සහ අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ, සංගමයේ, ගමන් කිරීමේ, වෘත්තියක නියැලීමේ, ආගමක් ඇදහීමේ, සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස සඳහා වන මූලික අයිතිවාසිකම් ඉවත් කිරීමට හැකි බවයි.

රීත්‍යනුකූලව, හදිසි තත්ත්ව ප්‍රකාශනය උසාවියක දී අභියෝගයට ලක් කළ නොහැකියි (මහජන ආරක්ෂක ආඥාපනතේ 03 වන වගන්තිය බලන්න. මේවා 'පහ කිරීමේ වගන්ති' ලෙස හැඳින්වේ; එනම්, අධිකරණයේ අධිකරණ බලය පහ කරන, නැත්නම් නෙරපා හරින වගන්ති). 1980 දී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සිටියේ අධිකරණයට හදිසි තත්ත්ව ප්‍රකාශනය (යසපාල එදිරිව රනිල් වික්‍රමසිංහ) පුනරීක්ෂණය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් මත පනවන ලද සීමා කිරීම් සඳහා සාධාරණ පදනමක් තිබේ ද යන්න සොයා බැලිය හැකි අතර මීට පෙර අධිකරණය එසේ කොට ඇත (ඔවුන් තාර්කික සහ සමීප සම්බන්ධතාවය යන යෙදුම භාවිත කරයි). උදාහරණයක් ලෙස, ජෝසප් පෙරේරා එදිරිව නීතිපති සහ කරුණාතිලක එදිරිව දයානන්ද දිසානායක සහ ලිලන්ති ද සිල්වා එදිරිව නීතිපති යනා දී නඩුවල දී අධිකරණය හදිසි නීති රෙගුලාසිවල සාධාරණත්වය පුනරීක්ෂණය කොට ඇත. ජෝශප් පෙරේරා එදිරිව නීතිපති නඩුවේ දී අධිකරණය ප්‍රකාශ කළේ මහජන ආරක්ෂාව සඳහා හදිසි නීති රෙගුලාසි අවශ්‍ය බවට ජනාධිපතිවරයාගේ මතයට බරක් දිය හැකි නමුත් හදිසි නීති රෙගුලාසිවල අවශ්‍යතාව සහ එමගින් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් මත පනවන ලද සීමා අතර සමීප හෝ තාර්කික සම්බන්ධතාවයක් තිබේ ද යන්න අධිකරණයට ප්‍රශ්න කළ හැකි බවයි.

ඔබටත් මටත් මෙයින් ඇති වන බලපෑම කුමක් ද?

අප පැවසූ පරිදි, දැනට සිදුකර ඇත්තේ හදිසි තත්ත්ව ප්‍රකාශනය නිකුත් කිරීම පමණයි. හදිසි නීති රෙගුලාසි ගැසට් නිවේදන ලෙස ඊළඟට නිකුත් විය යුතුයි. අප යෝජනා කරන්නේ documents.gov.lk හරහා මින් ඉදිරියට නිකුත් වන අතිවිශේෂ ගැසට් පත්‍ර දෙස අවධානයෙන් සිටින ලෙසයි. ජනාධිපතිවරුන් විසින් සාමාන්‍ය නොවන තීරණ ගන්නා විට, එම තීරණ මෙහි දැක්විය යුතු වේ.

ඒ හරහා ඔබට අවම වශයෙන් ඉහලින් ගනු ලබන සමහර තීරණ තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මහජන ආරක්ෂක ආඥාපනතේ ඇති පුළුල් පරාසයක බලතලවලින් එකක් හෝ ක්‍රියාත්මක කර ඇත්නම් මේ හරහා ඔබට එය දැන ගත හැකි වනු ඇත.

ගැසට්වල වැදගත්කම කෙතරම්දැයි යන්න අවධාරණය කොට නිමකළ නොහැක. දේශපාලනඥයන්, දැඩිව එල්බගත් අදහස් ඇති විවිධ මත සාදන්නන් හෝ WhatsApp පණිවිඩ කුමක් කීවත්, මෙම කාරණය සම්බන්ධයෙන් සැබෑ, නෛතික තීරණ ගැසට් පත්‍ර ලෙස ඉදිරිපත් කළ යුතු අතර රජය විසින් ඇත්තටම එසේ කරනු ද ලැබේ.

පාර්ලිමේන්තුව හදිසි තත්ත්වයට විරුද්ධ නම්, එය ස්වභාවිකව කල් ඉකුත් වේ.

අපගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි ප්‍රමාණයක් (අපගේ සාමාන්‍ය පාඨක සංඛ්‍යාලේඛන මත පදනම්ව බලන කළ), අප හදිසි තත්ත්වයක නොසිටියාට වැඩි කාලයක් හදිසි තත්ත්වයක් තුළ ගත කර ඇති බව සිහි තබා ගැනීම වැදගත් ය. 1983 දී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය අවසන් වූයේ 2011 අගෝස්තු මාසයේ දී ය. 2018 දී, මහනුවර සිදුවීම්වලින් පසුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි. 2021 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආහාර මිල පාලනය කිරීම සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් මේජර් ජෙනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරන ලදි.

මෙම ඉතිහාසය බලන කළ, හදිසි තත්ත්වයක් පැවතීම රට තුළ අදහස් ප්‍රකාශනය හෝ විරෝධතා හෝ සම්පූර්ණයෙන්ම වළක්වා නැතුවා මෙන්ම ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඔවුන්ගේ කාර්යය කිරීමෙන් වළක්වා ද නැත.

කෙසේ වෙතත්, නීත්‍යානුකූලව, ඔබව හසු කළ හැකි බොහෝ දේ ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කොට ඇත්තේ ‘ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පියවර ගනිමින් සිටින’ බවයි. හදිසි තත්ත්වයක් තිබුණත් නැතත්, අතිශය පුළුල් බලතල සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තවමත් ක්‍රියාත්මක වේ.

මෙම ලිපිය බොහෝ නීතිමය කරුණු සරල කොට දක්වා ඇති බව මතක තබා ගන්න. එසේම නීති අර්ථ නිරූපණය කිරීමට උත්සාහ කිරීමේ දී ඔබ අතිශයින්ම ප්‍රවේශම් විය යුතුය. ප්‍රතිපත්තිවලට අමතරව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරුණු ආකාරය ඇති අතර, ඊටත් අමතරව එම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් අධිකරණ තීන්දු තිබේ. එසේම, අවසාන වශයෙන්, එක් එක් සිද්ධිවලට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක වන වෙනත් නීති මාලාවක් තිබේ. ඔබට කරදරයට වැටී ඇත්නම්, නීතිඥයෙකු හා සම්බන්ධ වන්න.

ඔබ හදිසි තත්ත්වය ගැන වද වෙනවා නම්, ඒ පිළිබඳව සැලකිලිමත් නම්, කටකතා හෝ අනුමාන කිරීම් හෝ බෙදා නොගන්න. ගෘප් චැට් එකක “අපොයි දෙයියනේ” කියනවාට වඩා බොහෝ දේ මේ හා බැඳේ. කළ යුතු හොඳම දෙය වන්නේ හඬ නැගීම සහ බල කිරීම හරහා, ඔබ පාර්ලිමේන්තුවට තේරී පත් කළ නියෝජිතයින් හදිසි තත්ත්වය දීර්ඝ නොකරන බවට වගබලා ගැනීමයි.

මෙම ලිපියට දායක වූ සියලුම නීතිඥයන්ට අපගේ ස්තුතිය පුදකර සිටිමු. ඔවුන්ගේ විශේෂඥ දැනුම නොවන්නට ගොන් කතා රාශියක් අභියෝගයට ලක් නොවනු ඇත.

පාදසටහන්:

[1] විදේශ කටයුතු අමාත්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයෙන් පසු 2005 දී ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි වලින්: 26) නීතියෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකාණ්ඩුව, නීත්‍යානුකූල මාර්ගයකින් හැර අන් ලෙසකින් බිඳ හෙලීමේ හෝ බලෙන් යටත් කරගැනීමේ අවශ්‍යතාවට, කාර්යයට හෝ යෝග්‍යතාවට, කථික හෝ ලිඛිත වුව ද වචනවලින් හෝ සංඥාවලින් හෝ දෘශ්‍ය නිරූපනවලින් හෝ හැසිරීමෙන් හෝ වෙන යම් ක්‍රියාවක් මගින්, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් පක්ෂව කථා කරන, කරුණු කියා සිටින හෝ ඒ සඳහා උපදෙස් දෙන කවරකු වුව ද වරදකට වරදකරු විය යුතු ය. 27) මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමට හෝ අගතිගාමී වන කරුණු අඩංගු යම් දැන්වීම් කොළ හෝ අත් පත්‍රිකා හෝ පත්‍රිකා මහජනයාට පෙනෙන යම් ස්ථානයක ඇලවීම හෝ මහජනයා අතර බෙදාහැරීම හෝ කිසිම තැනැත්තෙකු විසින් කරනු නොලැබිය යුතු ය. 28) මහජනයා බිය වැද්දවිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි කිසිම කටකථාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක්‍රමයකින් සන්නිවේදනය කිරීම, ප්‍රචලිත කිරීම හෝ පැතිරවීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු ය. 29) පහත දැක්වෙන කරුණුවලින් යමක්, එනම් :—

අ) මේ නියෝගය යටතේ තහනම් කරනු ලැබූ යම් සංවිධානයක කටයුතු;

ආ) ත්‍රස්තවාදී ව්‍යාපාරය පිළිබඳව, ආණ්ඩුව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනවලට අදාළ යම් කරුණක්;

ඇ) පොලිසියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේනාංක රඳවා තිබෙන ආකාරය, ඒවායේ තත්ත්වය, යාම් ඊම් හෝ මෙහෙයුම්;

ඈ) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්‍ෂාවට සහ ආරක්‍ෂාවට අදාළ යම් කරුණක්;

ඉ) කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ජාතිවාදී හැඟීම් ඇවිස්සීමට ඉඩ ඇති යම් කරුණක්,

සම්බන්ධයෙන් ලේඛනයක් හෝ වාර්තාවක් මුද්‍රණය කරන හෝ පළ කරන, ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන හෝ අදහස් පළ කරන හෝ ඒ සම්බන්ධයෙන් වූ යම් චිත්‍රගත නිරූපනයක්, ඡායාරූපයක් හෝ චලන චිත්‍රපටයක් මුද්‍රණය කරන හෝ පළ කරන යම් තැනැත්තෙකු වරදකට වරදකරු විය යුතු ය.